Monday, November 30, 2009

ජනාධිපතිතුමාගෙන් රෝයි - සුමනාට ඇමතුමක්

By: Last Man On: 2:09 PM
ජනාධිපතිතුමාගෙන් රෝයි - සුමනාට ඇමතුමක්

හෙළ සිනමාවේ අමරණීය කලාකරුවන් දෙපළක් වූ රෝයි - සුමනා ගේ නිවෙස හිත් පිත් නැති සොරුන්ගේ ග්‍රහණයට ලක්වීමේ කනගාටුදායක පුවත පසුගිය දිනෙක ‘රසඳුන’ සහෘද ඔබ වෙත වාර්තා කළේ සංවේගයෙන් යුතුව ය.
රෝයිටත් සුමනාටත් මුහුණපෑමට සිදු වුණු මේ විපත ගැන අප රටේ පළමු පුරවැසියා වන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට සැළ වූ වහාම එතුමා රෝයි -සුමනාට දුරකථනයෙන් කතා කළා. ඒ පිළිබඳ රෝයි - සුමනා අප සමඟ කීවේ මෙලෙසින්.
“අපි දෙන්නම ජනාධිපතිතුමාට ස්තුතිවන්ත විය යුතුයි. එතුමාට රටේ ලෝකෙ වැඩ කන්දරාවක් තියෙන ගමනුත් අපිට සිදුවුණු කරදරය ගැන අහන්න අමතක කළේ නැහැ. එතුමාගේ ඒ මහත්මා ගතිය අපි හැමදාමත් අගේ කරනවා. එතුමා මේ සොරකම ගැන විස්තර ඇහුවා.
එවේලෙම මේ ගැන කඩිනම් පරික්ෂණ පවත්වන්න කියලා පොලිස්පතිතුමාටත් පවසා තිබුණා. ඒ වගේ ම ආරක්ෂාවත් අවශ්‍ය ද කියලත් අපෙන් ඇහුවා. ජනාධිපතිතුමා දහසකුත් වැඩ අතර අපි වගේ කලාකරුවන් අගේ කිරීම ගැන, අපිට සිදුවන විපත්, කරදරවලදී අපි සමඟ සිටීම ඇත්තටම අපිට ලොකු ශක්තියක්.
සිංහල සිනමාවෙ ඉන්න සමහර අය අපෙන් මොකද වුණේවත් කියල ඇහුවෙ නැහැ. රටේ තොටේ මේ තරම් ප්‍රශ්න තියාගෙන ඒවා විසඳන්න කටයුතු කරමින් කාර්ය බහුල ජීවිතයක් ගත කරන ජනාධිපතිතුමා කලාකරුවන්ට මොනතරම් ආදරේද කියලා මෙයින් ම අපිට තේරෙනවා. අපේ දුක සැප ගැන හොයල බැලුවට ජනාධිපතිතුමාට මුළු හදවතින් ම අපේ ස්තුතිය - කෘතවේදිත්වය අපි පුද කරනවා.
තුෂාරි

Monday, November 23, 2009

ජෙනරාල් සරත් ෆොන්සේකාපොදු ලකුණකින් ජනපතිවරණයට

By: Last Man On: 6:10 AM

විපක්‍ෂයේ ප්‍රධාන දේශපාලන පක්‍ෂවලට අයත් නොවන පොදු ලකුණකින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා එකඟත්වය පළකොට තිබෙන අතර ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර පැය 24 ක්‌ ගතවීමට පෙර ඒ බව රටට නිල වශයෙන් හෙළි කිරීමට සැලසුම් කොට ඇත.විපක්‍ෂයේ පොදු සන්ධානයට එක්‌ව සිටින සුළු පක්‍ෂයක ඡන්ද ලකුණකින් සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම පිළිබඳ පැවැති සියලු සාකච්ඡා මේ වන විට අවසන් කොට තිබේ. එක්‌සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්‌ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහජන පාර්ශ්වය යන විපක්‍ෂයේ ප්‍රධාන දේශපාලන පක්‍ෂවලට අයත් නිල ලාංඡනයකින් ඉදිරිපත් නොවී සැමට පිළිගත හැකි සෑම දෙනාගේම එකඟත්වයක්‌ මත පොදු ලාංජනයකින් පොදු අපේක්‍ෂකයා ලෙස සරත් ෆොන්සේකා මහතා මෙලෙස ජනාධිපතිවරණ සටනට පැමිණේ.ජනතා විමුක්‌ති පෙරමුණ නව ඡන්ද ලාංඡනයක්‌ ලබා ගැනීම සඳහා දේශපාලන පක්‍ෂයක්‌ ලියාපදිංචි කිරීමට ඉල්ලුම් කළත් එය මැතිවරණ කොමසාරිස්‌වරයා විසින් ප්‍රතික්‌ෂේප කිරීමත් සමඟ පොදු අපේක්‍ෂකයා ඉදිරිපත් වන පක්‍ෂය සතු ලාංජනය පිළිබඳ අර්බුදය උත්සන්න විය.මේ අනුව සුළු පක්‍ෂයකට අයත් පොදු ඡන්ද ලකුණකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සරත් ෆොන්සේකා මහතාගේ එම ඡන්ද ලකුණ සිංහල, දෙමළ, මුස්‌ලිම් ජනතාවන් අතර ප්‍රසිද්ධ කිරීම සඳහා පුළුල් ප්‍රචාරක වැඩපිළිවෙළක්‌ දියත් කිරීමට විපක්‍ෂය මේ වන විටත් සැලසුම් කොට ඇත. ජනාධිපතිවරණය පවත්වන බවට මැතිවරණ කොමසාරිස්‌වරයා විසින් නිල නිවේදන ප්‍රකාශයට පත්කළ වහා සරත් ෆොන්සේකා මහතාගේ නම සහ ඡන්ද සලකුණ ප්‍රකාශයට පත්කිරීමට විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ ඒකමතික තීරණයකට පැමිණ ඇත

Friday, November 20, 2009

ඇත්තද ඔයාට උයන්න, පිහින්න බෑ කියන්නේ?

By: Last Man On: 5:55 AM

පුංචි තිරය හරහා රටම ආකර්ෂණය කළ ජනප්‍රියම තරුව නෙහාරා පීරිස්

කුමාරසිංහ ආරච්චිගේ දෝන ක්‍රිහෂ්නි නෙහාරා කනීෂ්‍යා පීරිස්.
මේ කවුද කියා මා ඔබෙන් ඇසුවොත් එය එක්වරම පිළිතුරක් දෙන්නට බැරි පැනයක් වේවි ඔබට. ඒත් ඒ දිගු නමෙන් වදන් කිහිපයක් ඉවත් කර නෙහාරා පීරිස් කියූ සැනින් ඔබ දන්නවා ඈ කවුද කියා.

නෙහාරා පීරිස්.

‘මුතු කිරිල්ලී’ හරහා අපේ හදවතට ආදරය, සෙනෙහස මෙන්ම සුන්දරත්වය ද බෙදා දුන් ඈ වත්මන් ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයේ දිදුළන යොවුන් තාරකාවක්. ඒ බවත් අමුතුවෙන් කිව යුතු නැහැ ඔබට.

මේ ඈ ‘සරසවිය’ සමගින් කළ අතිශය ළෙන්ගතු කතාබහක වගතුගයි.

නෙහාරා මුලින්ම කියන්නකෝ ඔයාගේ උපන් දිනය?

මම ඉපදුණේ 1988 නොවැම්බර් 21.

ඒ කියන්නේ තව දවස් දෙකකින් ඔයාට අවුරුදු විසි දෙක ලබනවා.

ඔව්.

අපේ බොහෝ නිළියන් ක්ෂේත්‍රයට ආ මුල් කාලෙදි තමන්ගේ සැබෑ වයස හෙළි කළත් පස්සේ පස්සෙ වයස හංගනවා. ඔයත් එහෙම වෙයිද?

අනේ නැහැ. තව අවුරුදු දහයකින් ඇහුවත් මගේ නියම වයස එදාටත් කියනවා. කවදාවත් වයස හංගන්නේ නැහැ.

ඇයි ඒ . . . සාමාන්‍යයෙන් නිළියෝ වයස හංගනවනේ?

මම කැමැති අනෙක් හැමෝටම වඩා වෙනස් වෙන්න. අපි අපිටම බොරු කර ගන්න ඕනෑ නැහැනේ.

කොහොමද ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ?

ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයට මම ආවේ 2007 දී. ඒත් 2006 වසරේදී මම රූපවාහිනී වෙළෙඳ දැන්වීම් කිහිපයකට පෙනී සිටියා. මගේ රුව ප්‍රේක්ෂකයන් මුලින්ම දුටුවේ ඒ දැන්වීම්වලින්.

මොනවද ඒ?

මුලින්ම මම කළේ ‘ලංකා බෙල්’ කොමර්ෂල් එක. ඊට පස්සේ ඩයලොග් ඇතුළු තවත් වෙළෙඳ දැන්වීම් කිහිපයක්. ඇත්තටම වීඩියෝ ඉමේජ් එකේ ක්‍රිස්ටෝ තමයි මට මේ අවස්ථාව ලබා දුන්නේ.

එතකොට ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයට යොමු වුණේ කොහොමද කියලා කිව්වේ නැහැනේ?

ඔව් නේ . . . මගේ මාමා ඉන්නේ අමෙරිකාවේ. ඔහු ලංකාවට ආ වෙලාවක අපි නාලන්, සන්ධ්‍යා මෙන්ඩිස් යුවළ හමු වෙන්න ගියා. ඒ ගිය වෙලේ සන්ධ්‍යා මෙන්ඩිස් මගෙන් ඇහුවා මෙහෙම ටෙලි නාට්‍යයක් කරනවා සම්බන්ධ වෙන්න කැමැතිද කියලා.

ඉතින් ඔයා මොකද කිව්වේ?

එවෙලේ හිතේ පුංචි ආසාවක් ඇති වුණා. ඒත් මට තනියම තීරණයක් ගන්න බැරි නිසා ඩැඩාගෙන් මේ ගැන ඇහුවා. එතකොට එයා කිව්වා එහෙනම් ෆස්ට් ඇන්ඩ් ලාස්ට් කියලා හිතාගෙන ඒ ටෙලි ඩ්‍රාමා එකේ ඇක්ට් කරන්න කියලා.

මොකක්ද ඒ ටෙලි නාට්‍යය?

‘සෙනෙහසට ආදරෙයි’. එකේ රශ්මි කියලා සුළු චරිතයක් මම කළේ. මම රඟපෑවේ හා(ර්)ට් පේෂන්ට් කෙනෙක් විදිහට. ඊට පස්සේ මට රවීන්ද්‍ර විජේරත්න ගේ ‘ජීවිතේ ලස්සනයි’ පුංචි චරිතයක් ලැබුණා නෙත්මි කියලා. ඒකේ එපිසෝඩ්ස් එකසිය අසූ ගාණක් ගියාට පස්සෙයි මගේ චරිතය ආවේ. ‘සිරස’ මැජික් Box වැඩ සටහන ප්‍රසන්ට් කරන්න මට අවස්ථාව ලැබුණේ ඔය අතරේදී.

එතනදි තමයි නෙහාරාගේ ජීවිතයේ ලොකු පෙරැළියක් සිදු වෙන්නේ නේද?

ඔව් . . . ඔව්. මැජික් Box ප්‍රසන්ට් කරද්දී තමයි මට ‘මුතු කිරිල්ලි’ ට ආරාධනා ලැබුණේ. ඒක අධ්‍යක්ෂණය කළේ ලිලන්ත කුමාරසිරි. සුසිල ආයතනයේ නිෂ්පාදනයක්. ඒ අනුවයි මට එහි සමාධි සහ මුතු වෙන්න අවස්ථාව ලැබුණේ.

හිතා ගන්න බැරි තරමේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා නේ?

ඇත්තටම ‘මුතු කිරිල්ලී’ මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළා. උඩුයටි කුරු කළා කිව්වොත් හරි. පොඩි කාලේ ඉඳන් මට ඕනෑකම තිබුණේ අම්මා වගේ ගෘහණියක් වෙන්න. ඒත් නිළියක් විදිහට දිගටම ක්ෂේත්‍රයේ රැඳෙන්න ඕනැයි කියන සිතිවිල්ල මගේ හිතට ආවේ මේ ලැබුණ රසික ප්‍රතිචාරත් එක්ක. මට හිතා ගන්න බැරි වුණා මිනිස්සු ඇයි මට මේ තරම් කැමැති කියලා.

දැන් ‘මුතු කිරිල්ලී’ ඉවරයි නේ. ඒත් තාමත් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා මගෙ හිතේ?

අදටත් මට දවසකට ලියුම් තිස් පහක් විතර ලැබෙනවා. ප්‍රශ්නේ ඇයි එයාලා මට මේ තරම් ආදරේ කියලා. ඒත් ඒ ජනප්‍රියත්වය මම ඔළුවට අරගෙන නැහැ. ජනප්‍රියත්වයෙන් කවදාවත් අයුතු ප්‍රයෝජනයක් අරගෙනත් නැහැ. ජීවිතේ තවත් අත්දැකීමක් විදිහටයි මම ඒක සලකන්නේ.

ඇත්තටම ඔයාට හිතාගන්න බැරිද මේ තරම් පිරිසක් ඔයාට කැමැති ඇයි කියලා?

මම පොඩි කාලේ ඉඳන්ම හැමෝ එක්කම හිනා වෙනවා. කතා කරනවා. කිසිම බේදයක් නැතිව තමයි හැමෝම ඇසුරු කරන්නේ. මගේ මේ මිත්‍රශීලීකමත් ඒ ‘කැමැත්ත’ට බලපාන්න ඇති.

‘මුතු කිරිල්ලී’ රංගනය වෙනුවෙන් ඔයාට අපේ රටේ ප්‍රධාන ටෙලි නාට්‍යය සම්මාන උළෙල දෙකෙන්ම සාධාරණය ඉටු වුණා කියා මට හිතෙනවා?

2008 වසරේ රයිගම් ටෙලි සම්මාන උළෙලේදීත් මේ වසරේ සුමති ටෙලි සම්මාන උළෙලේදීත් ජනප්‍රියම නිළියට හිමි සම්මාන ලබා ගත්තේ මම. ඒක මට ලොකු සතුටක් වගේම මගේ රංගන දිවියට ලැබුණ ආශිර්වාදයක්.

නෙහාරා වෘත්තීය නිළියක් ද කියා මා ඇසුවොත්?

මම රඟපාන්නේ සල්ලි හොයන්නම නෙවේ. හිට් එකක් වෙයි කියලා හිතුණොත් මම ඒක කරනවා. මම හැම ආරාධනාවක්ම බාර ගන්නේ නැහැ. ගොඩක් ඒවා ප්‍රතික්ෂේප කරලාත් තියෙනවා.

රඟපාන්නේ සල්ලි හොයන්න නෙවෙයි කියලා කිව්වට නොමිලේ රඟපාන්නෙත් නැහැනේ?

හැම වැඩක්ම බදාගෙන කරනවාට වඩා මගේ හිතට සෑහෙන එක වැඩක් කළත් මට ඇති. ඒ මම කරන වැඩේට මට අවශ්‍ය මුදල මම ඉල්ලනවා. යම් ඩිමාන්ඩ් එකක් තියා ගන්න තමයි මම ඒ විදිහට කරන්නේ. ඒත් ජනප්‍රියත්වය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න මම ලෑස්ති නෑ.

මේ දවස්වල නෙහාරා මොකද කරන්නේ?

රවීන්ද්‍ර විජේරත්න අධ්‍යක්ෂණය කරන ‘සඳ එළිය වගේ’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගි වෙනවා. බණ්ඩාරගම ප්‍රදේශයේ තමයි ඒ රූගත කිරීම් සිදු කෙරෙන්නේ. මහීමා කියලා සුන්දර තරුණියකගේ චරිතය මම නිරූපණය කරනවා. මගේ පෙම්වතා විදිහට රගපාන්නේ නිනෝ ජයකොඩි. ශ්‍රියන්ත මෙන්ඩිස්, කුසුම් රේණු මගේ මවුපියන්ගේ චරිත රඟපානවා. දීපානි සිල්වා, ජගත් චමිල, නදීෂා අලහප්පෙරුම ඇතුළු නළු නිළියක් රැසක්ම රංගනයෙන් දායක වෙන ‘සඳ ඒළිය වගේ’ තවත් සුසිල නිෂ්පාදනයක්.

කොටස් කීයද මේ ටෙලි නාට්‍යයේ?

කොටස් එකසිය පනහකට තමයි දැනට ෂෙඩුල්ඩ් කරලා තියෙන්නේ. ඒත් කොහොම වෙයි ද දන්නේ් නැහැ.

නෙහාරා වැඩිපුර රඟපාලා තියෙන්නේ ‘මෙගා’ ටෙලි නාට්‍යවල. එතකොට ඔයා ‘මෙගා’ කිරිල්ලියක්?

මට ‘සුමති’ සම්මානය හම්බ වුණ වෙලාවේ නළුවෙක් කියලා තිබුණා ‘මෙගා’ ටෙලි නාට්‍යවල රඟපාන අයට විතරයි සම්මාන හම්බ වෙන්නේ කියලා. ඒ කියපු නළුවාත් අපට කලින් ‘මෙගා’වල රඟපෑවා. පස්සේ ඒ විදිහට ‘මෙගා’ සමච්චලයට ලක් කරනවා.

මෙගා, එහෙම නැත්නම් දීර්ඝ ටෙලි නාට්‍යවල ඔයා රඟපාන්නේ කැමැත්තෙන්ද?

කොටස් හාරසීය, පන්සීය දක්වා විකාශය වන ටෙලි නාට්‍යවල රඟපාන්න නම් මම ආස නැහැ. ‘මුතු කිරිල්ලි’ ටෙලි නාට්‍යයත් මුලින් සැලසුම් කරලා තිබුණේ කොටස් දෙසය හැත්තෑ පහකින් නිම කරන්න. ඒත් පස්සේ කොටස් තුන්සිය ගාණක් වුණා. මම මේ කතා කරන්නේ මෙගාවලට විරුද්ධව නෙවේ. ඒ වගේම මෙගාවලට විරුද්ධව කතා කරන අයටත් මම මොකුත් කියන්නේ නැහැ.

ඉදිරියට විකාශය වෙන්න නියමිත සනත් අබේසේකර අධ්‍යක්ෂණය කළ ‘ආදර රිද්ම’ ටෙලි නාට්‍යයේ කෞෂි කියන ප්‍රධාන චරිතයත් මම රඟපෑවා. ලබන වසරේදී එය විකාශය වෙයි. ඒක කොටස් තිහක ටෙලි නාට්‍යයක්.

නෙහාරාට තවම චිත්‍රපටවලට ඇරියුම් ලැබුණේ නැතිද?

රෝයි ද සිල්වා මහත්මයාගේ It’s a Matter of love චිත්‍රපටයේ ජෙනිෆර් කියලා සුළු චරිතයක් රඟපාන්න මට අවස්ථව ලැබුණා. ඒ තමයි මගේ මුල්ම සිනමා අත්දැකීම. මීට කලින් චිත්‍රපට කිහිපයකටම ආරාධනා ලැබුණත් නොයෙක් හේතූ®න් නිසා ඒවා ප්‍රතික්ෂේප කළා.

සිනමාවට ද ඔයා කැමැති නැතිනම් ටෙලි නාට්‍යවලටද?

ඒ දෙකටම. හොඳ චිත්‍රපටවල රඟපාන්නත් මගේ විශේෂ කැමැත්තක් තියෙනවා. මගේ කාලය එනකල් ඒකට මම බලාගෙන ඉන්නවා.

නෙහාරා වැඩියෙන්ම කැමැති නළු, නිළියෝ එහෙම කවුද?

මම ගොඩක්ම කැමැති නළු නිළි යුවළක් තමයි අයිරාංගනී සේරසිංහ සහ එච්. ඒ. පෙරේරා කියන්නේ. ‘මුතු කිරිල්ලී’ කරද්දී ඔවුන් මට බොහෝ දේවල් කියලා දුන්නා. ඒ රංගනය ගැන විතරක් නෙවෙයි, ජීවිතය ගැනත්. නිකං කතා බහ කර කර හිටියත් එයාලගෙන් මට ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබුණා.

ඔයාගේ පවුලේ තොරතුරු ටිකකුත් කියන්නකෝ අපට දැනගන්න?

මගේ ඩැඩා ව්‍යාපාරිකයෙක්. අම්මා ගෘහණියක්. මේ දෙන්නටම හොඳට ඩාන්ස් කරන්න පුළුවන්. මට කලා හැකියාවන් උරුම වුණේ ඒ දෙන්නගෙන් වෙන්නැති. මට මල්ලි කෙනෙක් ඉන්නවා. එයා නෙහාන්. බම්බලපිටිය සාන්ත පීතර විදුහලේ උසස් පෙළ හදාරනවා. ඔය තමයි මගේ තොරතුරු. එතකොට මම මැරි කරලා මේ මාසෙට අවුරුද්දක් පිරෙනවා.

ඇයි ඔයා විවාහ ජීවිතය ගැන, සැමියා ගැන වැඩිපුර මාධ්‍යය ඔස්සේ කතා නොකරන්නේ?

ඇත්තටම එයා කැමැති නැහැ ප්‍රසිද්ධියට. පුවත්පතක ඡායාරූපයකට පවා පෙනී සිටින්න කැමැත්තක් නැහැ.

ප්‍රේම සම්බන්ධයක් උඩ නේද විවාහ වුණේ?

ඔව්. අවුරුදු තුන හමාරක් ඇසුරු කරලා තමයි අපි විවාහ වුණේ. නිර්මාල් තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ රැකියාවකයි නිරත වෙන්නේ. එයාගෙන් ඇත්තටම මගේ කලා කටයුතුවලට ලොකු සහායක් ලැබෙනවා.

අවුරුද්දක් ගෙවිලත් තාම විවාහ ජීවිතයේ වෙනසක් නැහැ වගේ?

අනේ තාම නැහැ. අපි තාම කොල්ලයි, කෙල්ලයි වගේ තමයි ජීවත් වෙන්නේ.

එතකොට ළඟදී වෙනසක් වෙන එකකුත් නැහැ?

ඒවාට තාම පොඩි වැඩියි. ඉදිරියේදී බලමුකෝ.

නෙහාරා පාසල් ගියේ කෙහේද?

වැල්ලවත්ත සාන්ත ලෝරන්ස් විදුහලෙන් තමයි මම අ. පො.ස සා/පෙළ දක්වා ඉගෙන ගත්තේ. ඊට පස්සේ ACBP කෙලේජ් එකෙන් A/L කළා. බිස්නස් මැනේජ්මන්ට් ඇන්ඩ් මාකටින් ඩිග්රි එකට මම සූදානම් වුණත් ඩිප්ලෝමාව දක්වා විතරයි කළේ.

ඇයි ව්‍යාපාර කළමනාකරණය වගේ විෂයක් තෝරා ගන්න හිතුවේ?

පොඩි කාලේ ඉඳන්ම මගේ ෆියුචර් ඇම්බිෂන් එකක් තිබුණේ නැහැ ලොකු වෙලා මේ දේ කරනවා කියලා. ඇත්තටම මම එහෙම බ්‍රයිට් කේස් එකකුත් නෙවේ. පනහට පනහ තිබුණේ. ඩැඩා තමයි කිව්වේ ඉන්ටර්නැෂනල් ස්කූ®ල් එකකින් හරි ඒ වගේ සබ්ජෙක්ට් එකක් ෆලෝ කරන්න කියලා.

ඔයාගේ විනෝදාංශ මොනවාද?

මම පියාමෝ එක ප්ලේ කරනවා. ඉයර් එකට වගේම නොටේෂන් රීඩ් කරන්නත් මට පුළුවන්. ඒ වගේම තරමක් දුරට ගිටාරය වාදනය කරන්න හැකියාවකුත් තියෙනවා. ඊට අමතරව චිත්‍රපට නැරඹීමත් මගේ විනෝදාංශයක්. සිංහල, හින්දි, බටහිර ෆිල්ම් කලෙක්ෂන් එකක් මගෙ ළඟ තියෙනවා.

ඇත්තද ඔයාට උයන්න, පිහින්න බෑ කියන්නේ?

කවුද කියන්නේ. මට ඕනෑම කෑමක් රසට හදන්න පුළුවන්. රයිස් ඇන්ඩ් කරි නම් එහෙම. චයිනිස් නම් එහෙම. මේ ඕනෑම දෙයක්. O/L කරලා මාස තුනක් ගෙදර හිටියානේ. ඒ කාලයේදී අම්මා මට හැම දෙයක්ම කියලා දුන්නා. ගෙදර ඉන්න කොට කෑම හදන්නේ මම.

Sunday, November 15, 2009

මගේ බිරිඳ "මංජුලා" ඩිල්ස්කූප් පහරට හරි කැමතියි

By: Last Man On: 1:06 PM

-ටී.එම්. ඩිල්ෂාන්

පට යළිත් ක්‍රිකට් වසන්තයක් උදාවී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ දිනවල සිදුකරන ඉන්දීය සංචාරයේ පළමු ටෙස්ට් තරගය හෙට (16) අහමාද්බාද්හිදී ඇරැඹෙයි. ටෙස්ට් තරග 3 ක් 20 යි 20 තරග 2 ක් සහ එක්දින තරග 5 ක් මෙහිදී ක්‍රීඩා කිරීමට නියමිත අතර මෙවර අපේ ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තුව බවට පත් වූ සුවිශේෂී ක්‍රීඩකයෙකි.

අංක 5 ස්ථානයේ ක්‍රීඩා කරමින් සිට මේ වසර මුලදී ආරම්භක පිතිකරුවකු ලෙස පිටියට පිවිසි ඔහු එහිදී සනත් ජයසූරිය සමඟ එක්ව ආකර්ෂණීය ලෙස ක්‍රීඩා කරමින් වඩාත් සාර්ථකත්වයට පත්වුණා.

ඉන්දීය පි‍්‍රමියර් ලීග් (IPL) තරගාවලියේදී දිල්ලි ඩෙයාඩේවිල්ස් පිල නියෝජනය කරමින් සුවිශේෂ දස්කම් දැක්වූ ඔහු, 2009 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල විස්සයි 20 තරගාවලියේදී හිසට උඩින් එල්ල කළ ෆ්ලික් පහර නිසා ක්‍රිකට් ලෝකයේ වඩාත් කතා බහට ලක්වුණා.

එහිදී ඔහු පෞද්ගලිකව ලබාගත් ලකුණු ගණනින් 317 ක් වූ අතර පිත්තෙන් පන්දු රැකීමෙන් සහ පන්දු යැවීමෙන් දැක්වූ දක්‍ෂතා නිසා තරගාවලියේ වීරයා සම්මානය ද දිනාගත් අතර ශ්‍රී ලංකාව අනුශූරයින් බවට ද පත්වුණා.

ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ එදා මෙදා තුර ක්‍රීඩකයකුගේ නමින් නම් කර ඇති පහර ‘ඩිල්ස්කූප්’ පහර වන අතර මේ නිසාම ඔහුගේ නමත්, ශ්‍රී ලංකා මාතාවගේ නමත් ක්‍රිකට් වංශ කතාවේ නොමැකෙන ලෙස සනිටුහන් වෙලා.

මේ සියලු දක්‍ෂතා නිසාම 2009 වසරේ ICC 20 යි 20 දක්‍ෂතම ක්‍රීඩකයා සම්මානයෙන් ද (ICC Twenty 20 International Performance of the year 2009) පිදුම් ලැබූ ඔහු තිලකරත්න මුදියන්සේලාගේ ඩිල්ෂාන්.

අපේ රටේ ක්‍රීඩා ලෝලීන්ගේ ප්‍රබලතම බලාපොරොත්තු වූ අපේ කතා නායකයා. ඉන්දීය සංචාරයට හෝරා කිහිපයකට පෙර කාර්ය බහුලත්වය මැද ‘රසඳුන’ සමඟ සම්මුඛ වන්නට තරම් නිහතමානී වුණා.

මෙවර ICC දක්‍ෂතම 20 යි 20 ක්‍රීඩකයා ඔබ. ඒ වගේම අපේ රටේ ජනපි‍්‍රයම ක්‍රිකට් ක්‍රීඩකයා වෙමින් පළමු සියැට් සම්මාන උලෙළේ සම්මාන 4 කින් පිදුම් ලබනවා.

ඇත්තටම මේ සම්මාන ලැබීම ගැන මට ගොඩක් සතුටුයි. මේ වගේ අගය කිරීම් කරන විට ක්‍රීඩකයින්ගේ සිතට ශක්තියක් ධෛර්යයක් එනවා. මානසික වශයෙන් විශාල තෘප්තියක් ලැබෙනවා. පසුගිය වසර පුරා මම දැක්වූ දස්කම් නිසා මට මේ සම්මාන ලැබුණා කියලයි මම හිතන්නේ. මෙය මගේ ඉදිරි ක්‍රිකට්වලට ලොකු ශක්තියක් ධෛර්යයක්.

ඔබේ ක්‍රීඩා දිවියේ මේ වෙනස ආරම්භ වන්නේ IPL තරගාවලියෙන් පසුව කියා කීවොත්

IPL තරගාවලියේදී මගේ දස්කම් කිසියම් ප්‍රමාණයකට වර්ධනය වුණා වෙන්න පුළුවන්. එහිදී මම හැම තරගයකම වගේ ලකුණු අතර සිටියා.

එහෙත් මගේ මේ දස්කම්වලට විශේෂිතම හේතුව ලෙස මම දකින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මගේ පිතිකරු ස්ථානය මාරුවීමයි.

ඔබගේ ‘ඩිල්ස්කූප්’ පහර ගැන ඔබට ආඩම්බරයක් දැනෙනවද? ඒ වගේම ක්ලයිව් ලොයිඩ් ඔබේ පහර අගය කරලා තිබුණා.

ඒ වගේ ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩකයකුගේ ප්‍රකාශය පිළිබඳව මම නිහතමානීව ආඩම්බර වනවා. ඒ වගේම මම පෞද්ගලිකවම සතුටු වනවා මගේ නමින් ඒ පහර හැඳින්වීම ගැන. මා දන්නා තරමින් ක්‍රීඩකයකුගේ නමින් ක්‍රිකට් පහරක් නම් කළ පළමු වතාව මේ. එය මට පමණක් නොවේ රටටත් ගෞරවයක් ලෙස මා සලකනවා.

ඩිල්ස් කූප් පහරේ ආරම්භය ඇති වුණේ කොහොමද?

ඉන්දීය 20 යි 20 තරගාවලියේදී ලකුණු අතරට එන්න ඕන වුණාම මම පැඩල් ස්වීප් ෂොට් එක ගැහුවා. මේ පහරේ අතුරු ප්‍රතිඵලයක් ලෙස තමයි ඩිල්ස් කූප් පහර බිහිවන්නේ.

ඉන්පස්සෙ මට වැටහුණා මෙය හොඳින් එල්ල කරන්න පුළුවන් කියන එක. ඒ අනුව දිගින් දිගටම කැපවෙලා පුහුණු වුණා. දැන් මට ලොකු විශ්වාසයක් තියෙනවා ඒ පහර නිවැරැදිව එල්ල කරන්න පුළුවන් කියන එක.

මේ පහර දිගටම එල්ල කිරීම නිසා ඉදිරියේදී ඔබ අවදානමකට ලක්වේවිද?

මේ පහර එල්ල කරන්නට ඕන මොන පන්දුවට ද කියලා මට මේ වන විට ඉතා හොඳ විශ්වාසනීයත්වයක් ගොඩ නැගී තිබෙනවා. ඒ වගේම මෙය එල්ල කරන්නේ විකට් රකින්නාගේ හිසට ඉහළින්. සාමාන්‍යයෙන් පිටියේ පන්දු රැකීමේදී මෙතැනට ක්‍රීඩකයෙක් යෙදවීමට අපහසුයි. ඒ නිසා මගේ විශ්වාසනීයත්වය තිබෙන තුරු මේ පහර සාර්ථකව එල්ල කිරීමට මට හැකිවේවි යැයි සිතනවා.

ඩිල්ස් කූප් පහර දැන් අනෙත් ක්‍රීඩකයින් අතරත් ජනපි‍්‍රයයි.

ඇත්තෙන්ම දැන් මේ පහර ගහන්න තවත් බොහෝ ක්‍රීඩකයින් උත්සාහ කරනවා. සමහර වෙලාවට මාත් සමඟ මේ පහර එල්ල කිරීම ගැන කතා කරන අවස්ථාත් තිබෙනවා. ක්‍රීඩකයකුට මේ වගේ අලුත් පහරවල් තුළින් ලකුණු අතරට එන්න පුළුවන්. එය ඇත්තෙන්ම හොඳ දෙයක්.

මේ ගැන ලැබෙන ප්‍රතිචාර ගැනත් කියන්න.

ප්‍රතිචාර නම් ගොඩක් ලැබෙනවා. මගේ දැන් බිරිඳ මංජුලා ‘ඩිල්ස්කූප්’ එකට හරිම කැමතියි. ඇය හැම තිස්සෙම මාව දිරිමත් කරනවා.

විශේෂ දෙයක් කියන්න ඕන මම මේ මෑතකාලයේදී ලැබූ ජයග්‍රහණ පිටුපස්සේ ඉන්නේ ඇයයි. ඇය රඟපෑමෙන්, ව්‍යාපාරවලින් ඉවත්වෙලා මගේ ක්‍රීඩා ජීවිතය දියුණු කරගන්න අවශ්‍ය හැම සහයෝගයක්ම දෙනවා.

ඔබ සම්මානයට ලක්වීම පිළිබඳව ස්තූති කරන්නේ කාටද?

මම ඒ ගැන විශේෂයෙන් ස්තූති කරන්නෙ මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයන්ට. මාව පි‍්‍රය කරන මගේ ක්‍රීඩා ලෝලීන්ට. People’s Award කියන්නේ ජනතාව අතරේ ඉන්න ක්‍රීඩකයා කියන එකයි. එයින් අදහස් කරන්නේ මට ජනතාවගේ ආශීර්වාදය හැම තිස්සෙම තිබෙන බවයි. මෙය මට ඉදිරියට යන්න තවත් ධෛර්යයක්. ශක්තියක්.

ඔබේ පිතිකරු ස්ථානයේ වෙනස ගැන කතා කළොත්.

මම ගොඩක් වාසනාවන්තයි සනත් ජයසූරිය වැනි ප්‍රවීණ ක්‍රීඩකයා සමඟ ඉනිම ආරම්භ කරන්න ලැබීම. දැනට ලෝකයේ සිටින ප්‍රහාරාත්මකම, වැඩිම එක්දින තරග ගණනක් ක්‍රීඩා කරලා අත්දැකීම් ඇති සනත් අයියා එක්ක පිටියට ගිය විට මට පුදුම ශක්තියක් ඇති වුණා. ඔහු මට ඔහුගේ අත්දැකීම් තුළින් ලබාදුන් උපදෙස් මගේ සාර්ථකත්වයට බලපාන්න ඇති.

අනෙත් කරුණ තමයි ඔහු අනෙක් අන්තයේ ඉන්න විට මට බයක් නැතිව පහරවල් එල්ල කරන්න ශක්තිය ආවා. මට මා ගැනම විශ්වාසයක් ඇති වුණා. ඒ අතින් මම හරිම වාසනාවන්තයි කියල කියන්න ඕන.

ඔබට කණ්ඩායමෙන් ලැබෙන ප්‍රතිචාර.

දැනට ටෙස්ට් කණ්ඩායමේ ඉන්න ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයින් වන්නේ මහේල, මුරලි, සංගා සහ මම. මට මේ අයගෙන් උපරිම සහායක් ලැබෙනවා. අපි හතර දෙනා දැන් අවුරුදු 10 කට වැඩි කාලයක් එකට ක්‍රීඩා කරනවා. ඉතින් අපි තරගයකට ගියහම අපේ අත්දැකීම් එකතු කරල කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යන්න තමයි උත්සාහ කරන්නෙ. සංගා තවම නායකත්වයට අලුත්. ඒ නිසා අපි ඔහුට අවශ්‍ය සහයෝගය ලබා දෙනවා.

තවත් විශේෂ දෙයක් කියන්න ඕන. මෙතෙක් අපි ඉතාමත් සහයෝගයෙන් ක්‍රීඩා කළා. ඉතින් අපේ වගකීම වන්නේ අලුතෙන් කණ්ඩායමට එන අය දිරිමත් කරලා ඔවුන්ගේ උපරිම දක්‍ෂතාව අරගෙන කණ්ඩායම ජයග්‍රහණය කරවීම.

එහිදී කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයින් සහ නවකයින් අතර ලොකු පරතරයක් නැහැ කියල පෙන්වන්න ඕන. ඔක්කොම එකට වැඩ කළොත් ඉදිරියට එන තරගවලට සාර්ථකව මුහුණ දීලා ජයග්‍රහණ ලබන්න පුළුවන් බව ඔවුන්ට ඒත්තු ගන්වන්න ඕන. ඒ තුළින් රට ජයග්‍රහණය කරවීම අපේ වගකීම.

ජ්‍යෙෂ්ඨත්වය අනුව අනාගතයේදී නායකත්වය පිළිබඳව බලාපොරොත්තුවක් නැද්ද?

මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ නායකත්වය ගැන. මගේ එකම ඉලක්කය හොඳින් ක්‍රීඩා කරල ඒ තුළින් කණ්ඩායමේ ශක්තිය වැඩි කර ජයග්‍රහණ ලබන්නයි.

මගේ දක්‍ෂතා රට වෙනුවෙන් වැය කරලා ඒ ලබන ජයග්‍රහණ තුළින් මට අවංකවම සතුටු විය හැකියි.

ඔබේ පෞද්ගලික තොරතුරු ටිකකුත් කියන්න.

මගේ පියා ජුනයිඩීන්. මව නන්දනී. මගේ මල්ලි සම්පත් බදුරලිය ක්‍රීඩා සමාජයට ක්‍රිකට් ක්‍රීඩා කරනවා. අචිනී, ආශා සහ කුමාරි මගේ නංගිලා තුන්දෙනා. මම ඉපදුණේ කළුතර. පාසල් ගියේ කළුතර විද්‍යාලයට. පවුලේ අයගෙන් මගේ ක්‍රීඩා ජීවිතයට ලැබුණේ වචනයෙන් කියන්න බැරි සහයෝගයක්.

මගේ බිරිඳ මංජුලා තිළිණි. පුතා රෙසඳු වයස අවුරුදු 7 යි. දුව රිසිඳි වයස අවුරුද්දයි. මේ අය තමයි දැන් මගේ ලෝකය.

Saturday, November 7, 2009

අපේ ජැකීටත් කතා හැදෙයි

By: Last Man On: 3:02 PM
ශ්‍රී ලාංකේක සුරූපිනියක් මුල් වතාවට බොලිවුඩ් චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් නිරූපණය කරන අයුරු දැන් ඔබටත් නරඹන්නට ලැබෙනවා. සැබවින් ම එය මෙරට බොලිවුඩ් සිනමා රසික රසිකාවියන්ට අමතක නොවන අත්දැකීමක් වේවි.

මේ දුර්ලභ අවස්ථාව මෙරට රසික පරපුරට ලැබෙන්නේ ‘ඇලඩින්’ චිත්‍රපටයෙන්. මෙහි ප්‍රධාන චරිතයක් නිරූපණය කරන යුවතිය ජැකලයින් ෆර්නැන්ඩස් බව දැන් ඔබ හොඳින් ම දන්නවා ඇති. ඇය පිළිබඳ උණුසුම් තොරතුරු අප මීට පෙර මේ පිටුවේ ම සටහන් කළා.

ජැකලයින් උපන්නේ 1985 ජූනි 12 වැනි දා. සමාජ සේවාවන්ටත් ජැකලයින් ප්‍රිය කරනවා. ඒ නිසා තමයි ඇය ලංකාවේ ක්‍රියාත්මක වූ ස්වේච්ඡා සංවිධානයකට බැඳී දුගී දුප්පත් අය බල ගැන්වීමේ වැඩසටහන්වලට මහත් කැමැත්තකින් සහභාගි වුණේ.

2006 වසරේ පැවති ශ්‍රී ලංකා අවිවාහක රූ රැජින (මිස් ශ්‍රී ලංකා) තරගයේ ජය කිරුළ පැලඳුණේ ජැකලයින්ටයි. ඒ නිසා ම ඇයට එම වසරේ පැවති ලෝක අවිවාහක රූ රැජන තරගයටත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වීමේ භාග්‍යය උදා වුණා.

මේ වනවිට ජැකලයින් බොලිවුඩ් සිනමා ලෝකයේ ජනප්‍රිය තරුවක් බවට පත් ව සිටිනවා. මේ නිසා ම ඇයටත් කට කතාවලට මුහුණදෙන්නට සිදුවෙලා. පසුගිය සතියේ බොලිවුඩ් පුරයේ විද්්‍යුත් මාධ්‍ය කිහිපයක් ම ජැකලයින් ගැන උණුසුම් පුවතක් වාර්තා කර තිබුණා.

එයින් කියැවුණේ එක්තරා ඉරිදා සන්ධ්‍යාවකදී ‘ඇලඩින්’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ සුජෝයි සෝෂ් සහ ජැකලයින් සුපිරි අවන්හලකදී හමුවූ බවයි.

ඒ විතරක් නොවෙයි. ඔවුන් දෙදෙනා ලොව පුරා ප්‍රකටව තිබෙන එක්තරා අයිස්ක්‍රීම් වර්ගයක රස බලමින් සිටියාය කියලත් ඒ ආරංචිවල සටහන් වී තිබුණා. ඉන්දියාවේ බන්ද්‍රා ප්‍රදේශයේ පිහිටා තිබෙන සුප්‍රසිද්ධ අවන්හලකදීලු මේ දෙදෙනා අයිස් ක්‍රීම් රස බලා ඇත්තේ.

මේ සිද්ධිය දැනගත්තා එක්තරා මාධ්‍යවේදියෙකුට හදිසියේ ම ‘ඇලඩින්’ චිත්‍රපටයේ කටයුතු කළ කාර්මික ශිල්පියෙකු මුණ ගැසුණා. අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගත් මාධ්‍යවේදියා මේ ශිල්පියාගෙන් විමසුවේ අධ්‍යක්ෂ සුජෝයි සහ ජැකලයින් අතර තිබෙන මේ ඇඟෑලුම්කම මොකක්ද කියලයි. එවිට ‘ඇලඩින්’ චිත්‍රපටයේ කාර්මික ශිල්පියා පැවසුවේ මෙන්න මෙහෙම කතාවක්... ජැකලයින් ‘ඇලඩින්’ චිත්‍රපටයේ රඟපාන්න ආවෙ රික්ෂෝ එකෙන්.

ටික දවසක් ගියාට පස්සෙ එයා රූපගත කරන තැන්වලට ආවෙ අලුත් ම අලුත් ‘හොන්ඩා සිවික්’ කාර් එකකින්. මං හිතන්නෙ ඒ කාර් එකේ වටිනාකම රුපියල් ලක්ෂ 15 ක් විතර ඇති. ඇත්ත ද බොරු ද මන්දා, සමහරු කියන්නෙ ඔය කාර් එක ජැකලයින්ට අධ්‍යක්ෂ සුජෝයි තෑගි දීපු එකක් කියලයි!”

මේ කතාවල ඇත්ත නැත්ත සහසුද්දෙන් ම දැනගන්න ඕනෙ නිසා මාධ්‍යවේදියා ජැකලයින්ටත් කතා කළා.

ඇය ඉතාම කැමැත්තෙන් ඔහු සමඟ කතා කළා. “මුලින් ම කියන්න ඕනෙ, ඔය ‘හොන්ඩා සිවික්’ කාර් එක මට සුජෝයිගෙන් තෑගි ලැබුණු එකක් නෙමෙයි කියලා. එහෙම තෑග්ගක් මට ලැබුණේ නැහැ. ඒක අමූලික බොරුවක්.

මිනිස්සුන්ට ඕනෙ ඕනෙ හැටියට කටකතා හදන්න පුළුවන්. මේකත් ඒ වගේ කට කතාවක් විතරයි. අයිස් ක්‍රීම් කතාවෙ නම් ඇත්තක් තියෙනවා.

හැබැයි එදා මාත් එක්ක හිටියෙ සුජෝයි විතරක් නෙමෙයි. රිටීෂුත් (රිටීෂ් දේශ්මුඛ්) එතන හිටියා. අපි තුන්දෙනාම අයිස් ක්‍රීම් කෑවා. ඉතින් ඒකෙ ඇති වැරැද්ද මොකද්ද?” ජැකලයින් පෙරළා ප්‍රශ්න කළා.

ඉන්පසුව ‘ඇලඩින්’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ සුජෝයි සෝෂ් ද මේ ගැන කතා කළ බවයි දැනගන්නට ලැබුණේ. “ජැකලයින් මගේ හොඳ යෙහෙළියක්. අපි සමහර වෙලාවට විනෝද ගමන් එහෙමත් යනවා. හැබැයි ඒ යන්නෙ තවත් යාළුවො ගොඩක් එක්කයි.

මේ ළඟදීත් අපි තරු පහේ හෝටලයක තිබුණු ‘ඇලඩින්’ චිත්‍රපටයේ ප්‍රචාරක වැඩසටහනකට සහභාගි වුණා. එහෙම ගමන් බිමන් ගියා ය කියලා අපි අතරෙ ඊට වඩා වෙනස් සම්බන්ධකමක් නැහැ” සුජෝයි තරයේ ම කියා සිටියා.

සුජෝයි ළඟදීම තවත් චිත්‍රපට 3 ක් ම අධ්‍යක්ෂණය කරන්නට සූදානම් වෙමින් සිටිනවා. මේ සියලුම චිත්‍රපටවල ප්‍රධාන නිළිය හැටියට රඟපාන්න තෝරා ගෙන ඇත්තේ ජැකලයින්වයි.

ඒ වෙනුවෙන්වූ ගිවිසුම් වලට මේ වනවිට අත්සන් තබා ඇති බවයි ඇය පවසන්නේ. කොහොම වෙතත් ඒ චිත්‍රපටවල තොරතුරු තවම හෙළි කළ නොහැකි බවත් ඇය කියා සිටියා.

Tuesday, November 3, 2009

Sunday, November 1, 2009

අම්ම කෙනෙක් වෙන්න මම තාම පොඩි වැඩියි

By: Last Man On: 2:27 PM

නෙහාරා පීරිස්

නෙහාරා පීරිස් යන නමින් ඇය ඔබට හඳුන්වා දෙනවාට වඩා ‘මුතු කිරිල්ලී’ ටෙලිනාට්‍යයේ මුතු හෙවත් සමාධි ලෙසින් ඔබට ඇය හඳුන්වා දෙතොත් ඔබ නිසැක වශයෙන්ම ඇය හඳුනා ගනීවි.

‘මුතු කිරිල්ලී’ ටෙලිනාට්‍යයේ අනූපමට පෙම් බඳින මේ හුරුබුහුටි සොඳුරු මියුලැසිය ටෙලිනාට්‍ය නිළියක ලෙසින් පමණක් නොව රූපවාහිනී නිවේදිකාවක, නර්තන ශිල්පිනියක මෙන්ම ගායිකාවක ලෙස ද මේ වන විට ඔබේ හදවතට සමීප වෙමින් සිටිනවා. මෑතකදී යුගදිවියට ද පිවිසුණු ඇගේ අලුත්ම වතගොත විමසන්නට මං පසුගිය දිනෙක ඇගේ සොඳුරු නිවහනට ගොඩ වැදුණා.

ඉතින් නෙහාරා, මේ දවස්වල මොනවද ඔබේ අලුත්ම තොරතුරු?

මේ දවස්වල මං දෙරණ රූපවාහිනියේ විකාශය වන ‘ටී පාටි’ වැඩසටහනේ නිවේදිකාව ලෙස කටයුතු කරනවා. ඊට අමතරව පසුගිය දිනවල රෝයි ද සිල්වාගේ ‘ඉට්ස් අ මැටර් ඔෆ් ලව්’ චිත්‍රපටියේ සහ සනත් අබේසේකරගේ ‘ආදර රිද්ම’ ටෙලිනාට්‍යයේ රඟපෑවා. රංගනයට අමතරව මං මේ වන විට ගායන ක්ෂේත්‍රයටත් සම්බන්ධ වී සිටිනවා.

මේ දිනවල නිලාර් එම්. කාසිම්ගේ පද රචනයක් අනුව රාජ් කුමාර් සංගීතය සපයන ගීතයක් මං රොෂාන් රණවන සමඟ ගායනා කරනවා. මීට කලින් චන්දන කුරේ ගේ පද රචනයකට අනුව බිලී ප්‍රනාන්දු සංගීතවත් කළ ගීතයක් හා ජිප්සීස් සුනිල් ගේ පුත් ගයාන් පෙරේරා සංගීතවත් කළ ගීතයකුත් මං ගායනා කළා.

හැබැයි ඔබ මේ දිනවල වඩාත්ම ජනපි‍්‍රය ‘මුතු කිරිල්ලී’ ටෙලිනාට්‍යයෙන්නෙ.

ඇත්තටම ඔව්. මම ‘මුතු කිරිල්ලී’ ටෙලිනාට්‍යයෙන් ගොඩාක් ජනපි‍්‍රය වුණා. පාරකදි දැක්කත් හැමෝම මට කථා කරන්නෙ සමාධි කියලා. ඒ තරමට ටෙලිනාට්‍යය බලන හැමෝම සමාධිට ආදරය කරනවා. මටත් සමාධිගේ චරිතය සුවිශේෂයි. එයින් මාව හුඟාක් පේ‍්‍රක්ෂකයන් අතරට ගියා.

ඒ වාගේම මට ඒ චරිතය කරද්දී දක්ෂ, ජනපි‍්‍රය, ප්‍රවීණ නළු නිළියන් රැසක් සමඟම රඟපාන්න ලැබුණා. ඒක හරි අපූරු අත්දැකීමක්. විශේෂයෙන්ම එච්. ඒ. පෙරේරා අන්කල් සහ අයිරාංගනී සේරසිංහ ආන්ටි ගැන යමක් සඳහන් කරන්නම ඕනෑ.

ඒ දෙන්නා තමයි මගේ කැමැතිම නළු නිළි යුවළ. එයාල වගේ ප්‍රවීණයන්ගෙන් මං වගේ නව පරපුරේ නිළියකට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. සමහරු මගෙන් හම්බ වුනහම අහන්නෙ මගෙයි අනූපමගෙයි ආදරයට ටෙලිනාට්‍යය අවසානයේ මොකද වෙන්නෙ කියලා.

මං ඒ ගොල්ලන්ට කියන්නෙ දිගටම ටෙලිනාට්‍යය බලන්න. එතකොට එයාලට සිදුවන දේ රසවත්ව දැකබලා ගන්න පුළුවන් වේවි කියලා.

ඔබේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු ගැනත් යමක් කිව්වොත්?

මම ඉගෙන ගත්තෙ වැල්ලවත්ත සාන්ත ලෝරන්ස් විද්‍යාලයේ. අපේ පවුලේ ඉන්නෙ අම්මයි ඩැඩයි, මල්ලියි මමයි. මල්ලි තවම අධ්‍යාපන කටයුතුවල නිරත වෙනවා. මම මෑතකදී විවාහ වුණා. අපි දෙන්නා මුණ ගැසුණේ සාන්ත ජෝශප් දේවස්ථානයේදී.

එහි තරුණ සංවිධානයේදී මුණ ගැහිලා, දැන හඳුනාගෙන වසර ගණනාවක සිට තිබුණු පේ‍්‍රමයක ප්‍රතිඵලයක් වශයෙන් අපි විවාහ වුණේ. එයා හරිම හොඳ කෙනෙක්.

ඔහු තමයි මාව හැම විටම දිරිමත් කරමින් මගේ කලා කටයුතුවලට විශාල සහයෝගයක් ලබා දෙන්නේ. එයා දැනට පරිගණක තාක්ෂණය පිළිබඳ ව්‍යාපාරයක් කරගෙන යනවා.

ඔබ වඩාත්ම කැමැති රංගනයට ද? නැතිනම් නර්තනය, ගායනය හා නිවේදන කටයුතුවලට ද?

මම වඩාත්ම කැමැති රංගනයටයි. මුලින්ම කලා ක්ෂේත්‍රයට පිවිසුණෙත් ටෙලිනාට්‍ය නිළියක ලෙසයි. ඒ නාලන් මෙන්ඩිස් ගේ ‘සෙනෙහසට ආදරෙයි’ ටෙලි නාට්‍යයේ රශ්මි ගේ චරිතයෙන් සහ රවින්ද්‍ර විජයරත්නගේ ‘ජීවිතය ලස්සනයි’ ටෙලි නාට්‍යයේ නෙත්මි ගේ චරිතය රඟපාමින්.

එතැනින් පස්සෙ තමයි මට සිරස රූපවාහිනියේ ‘මැජික් බොක්ස්’ වැඩ සටහනේ නිවේදිකාව ලෙස හා ‘සිරස ඩාන්සින් ස්ටාර්’ වැඩ සටහනේ නර්තන ශිල්පිනියක ලෙසින් ඉතා ජනපි‍්‍රයත්වයක් ලබාගන්නට හැකිවුණේ.

ඇත්තටම මේවාත් මගේ කලා ජීවිතයේ සොඳුරු මතක සටහන් හැටියට මං සලකනවා.

ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවද?

එහෙම විශාල බලාපොරොත්තු නම් මට නැහැ. මම සාමාන්‍යයෙන් ලද දෙයින් සතුටු වන කෙනෙක් ඉදිරියේදීත් සුපුරුදු විදියට රඟපෑම් කටයුතුවල නිරත වෙන ගමන් මට හැකියාව ඇති අනෙකුත් අංශවලිනුත් යමක් කිරීමට බලාපොරොත්තු වෙනවා.

එතකොට පෞද්ගලික ජීවිතයේ පෙම්වතියක, බිරිඳක වූ ඔබ මවක වන දිනයත් වැඩි ඈතක නොවේ ද?

අපෝ ඒ ගැන නම් මං තවම හිතලවත් නෑ. මං තවම පොඩියි නෙ. මට තවම අවුරුදු විස්සනෙ.

ඒක හින්දා මට හිතෙන්නෙ අම්මා කෙනෙක් වෙන්න මට තවම ඕනෑ තරම් කල් තියෙනව කියලා. ඒ නිසා ඒ ගැන තීරණය කරන්න මං අනාගතයට බාර කරනවා.

නෙහාරාගේ ලිපිනය

නො. 66, සාන්ත අන්තෝනි මාවත, කඩලාන, මොරටුව.

සටහන හා සේයාරූව
බර්නාඩ් ෂෝ පේ‍්‍රමසුන්දර- Silumina