Showing posts with label chathurika peris. Show all posts
Showing posts with label chathurika peris. Show all posts

Thursday, March 18, 2010

චතූ කියනවා. ආයේ බබා කියලා කියනවා.ඒ ආදරේට

By: Last Man On: 12:44 AM

රිදී තිරයේ වත්මත් දඟකාර යෞවනිය චතුරිකා පීරිස් කියයි

සුවහසක් යොවුන් සිත් සතන් සෙනෙහසින් වැළැඳගත් යොවුන් රුවත්තිය චතුරිකා පීරිස් මේ දිනවල ගෙවන්නේ දැඩි කාර්යබහුල දිවියක්. පුංචි තිරයෙන් නිතරම අප හමුවට එන චතුරිකා අද දවසේ වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමි කරගෙන සිටින්නේ සිනමා නිළියක් විදහට. ඒ ආනන්ද වික්‍රමසිංහගේ ‘හදවත මල් යායයි’ චිත්‍රපටයේ ඈ රඟන චරිතය සමගින්.

කවදත් තම රංගනය හරහා අප නෙතට සුන්දරත්වයක් සේම, සිතට සොම්නසක් ද ගෙන එන චතුරිකා යළිත් වරක් පුංචි තිරය ඔස්සේ අප හමුවට එන්නත් ඔන්න සූදානම්.

මේ සියල්ල ගැන තොරතුරු දැන ගන්න අපි ඇයත් එකක් පිළිසඳරකට එක් වුණා.

ඉතින්, ලිහිණි කොහොම ද.....?

චතුරිකාගේ මුහුණේ එක්වරම ඇඳුණේ දඟකාර සිනහ රැල්ලක්. ඒ සමගම ඇගේ වතට අමුතුම සුන්දරත්වයක් එක් වුණා වගෙයි.

ලිහිණි, කියන්නේ හදවත මල් යායයි, චිත්‍රපටයේ මම රඟපාන චරිතය. ඇත්තටම සමහරු මට ලිහිණි කියලත් කතා කරනවා. මේ මම සිනමාවේ මෙතෙක් රඟ නොපෑ ආකාරයේ වෙනස්ම චරිතයක්, “හදවත මල් යායයි” විමෝදාත්මක ආදර කතාවක් නේ. ඒ නිසා මේ චිත්‍රපටය හරිම සුන්දරයි.

ලිහිණි, වෙනස්ම චරිතයක් කිව්වා. කොයි වගේ චරිතයක් ද එයා.....?

ඇත්තෙන්ම ලිහිණි හරිම දඟකාර සැහැල්ලු වගේම තොර තෝංචියක් නැතිව කියවන චරිතයක්. එයා වැඩිය කේන්ති ගන්න කෙනෙක් නෙවෙයි. ඒත් කේන්ති නොයන්නේත් නෑ. හැබැයි හරිම සුන්දර කෙනෙක්.

ඒ කියන්නේ ලිහිණි හරියට ඔයා වගේ.....?

ටිකක් මම වගේ තමයි. වෙනසකට තියෙන්නේ මම එච්චර කියවන කෙනෙක් නෙවෙයිනේ.

ආනන්ද වික්‍රමසිංහ වැනි ප්‍රවීණ අධ්‍යක්වරයෙක් යටතේ මෙවැනි චරිතයක් රඟපාන්න ලැබීම ගැන ඔයාට මොකද හිතෙන්නේ.....?

ඇත්තටම ගොඩක් සතුටු වෙනවා. මේ චරිතය මට හොඳ අවස්්ථාවක්. මොකද ගොඩක් වෙලාවට ලැබෙන චරිත ඒකාකාරියි කියලා මට හිතෙනවා. නමුත් මේක වෙනස්. මට විතරක් නෙවේ මගේ පරම්පරාවේ කාටවත් මේ වගේ් චරිතයක් සිනමාවේ රඟපාන්න ලැබිලා නැහැ.

විශේෂයෙන්ම චිත්‍රපටයේ අධ්‍යක්‍ෂක ආනන්ද වික්‍රමසිංහ මහතා ගැන යමක් කියන්න ඕනෑ. ඔහු අධ්‍යක්ෂවරයෙක් විතරක් නෙවෙයි. මානුෂික ගුණාංගවලින් පිරුණු හොඳ මහත්මයෙක්. ආනන්ද අංකල් සහ ඔහුගේ බිරිය දරුවෙක් වගේ මගේ ගැන හොයලා බැලුවා. විශේෂයෙන්ම මගේ කෑම, බීම, ඉඳුම් හිටුම් ගැන. දරුවෙකුට වගෙයි ඒ අය මට සලකුවේ. ඒ කාලය ගෙවිලා ගියේ හරිම සුන්දර විදිහට.

මේ සියලු පහසුකම් මැද්දේ ලිහිණිගේ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරන්න ඔයාට පුළුවන් වුණා කියලා හිතෙනවාද?

මම කිව්වේ මේ වගේ චරිතයක් මීට කලින් මම රඟපාලා නැහැ කියලා. ඇත්තෙන්ම ටිකක් අභියෝගයක් වුණ චරිතයක්. ඩබිං කරන්න ගියාම හරිම අමාරු වුණා. මොකද මම අර කලින් කිව්වා වගේ ලිහිණි හරි වේගයෙන් කතා කරන කෙනෙක් නේ. නමුත් මම හිතනවා ඒ අභියෝග සියල්ලටම හොඳින් මුහුණ දෙන්න මට පුළුවන් වුණා කියලා.

විශේෂයෙන්ම චන්න අයියාට, මට වගේම චිත්‍රපටයේ රඟපෑ සෙසු නළු නිළියන්ට තිබුණ මානසික නිදහස නිසා තම තමන්ගේ කාර්යභාරය මේ හැමෝටම හොඳින් කරන්න පුළුවන් වුණා කියලා මට හිතෙනවා.

චිත්‍රපටය නරඹපු ගොඩක් අය කියන්නේ ඔයාගේ ඇඳුම් පැළඳුම්, කොණ්ඩ විලාසිතා හරිම ලස්සනයි කියලයි?

මගේ ඇඳුම් පැළඳුම් නිර්මාණය කළේ රමණී අලකොලංග. ඇය මට ලොකු සහයක් දුන්නා. ඇත්තටම මගේ ඇඳුම් හරිම ලස්සනයි. ඒ වගේම මාව හැඩ ගැන්වූ නන්දේ අයියා සහ කොණ්ඩා මෝස්තර නිරූපණය කළ ලලිත් අයියාවත් මේ වෙලාවේ මතක් කරනවා. ලලිත් අයියා මගේ කොණ්ඩෙට කිසිම හානියක් නොවෙන විදිහට මගේම කොණ්ඩය විවිධ විලාසිතාවලින් සැරසුවා.

එතකොට කොහොමද හිමාල්ගෙන් ඔයාට ලැබුණ සහයෝගය.....?

හිමාල්, මගේ පෙම්වතා, ඒ චරිතය රඟපෑවේ චන්න අයියා. ඇත්තෙන්ම මට එයාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. මේ රංගනයේ දී. පුංචි තිරයේත් මගේ මුල්ම පෙම්වතා වුණේ චන්න අයියා. ඒ “සුරිය දරුවෝ” ටෙලි නාට්‍යයේ. ඉතින් අපි දෙන්නා අතර මේ කාර්යයේදී සහසම්බන්ධයක් තිබුණා. රංගන කාර්යයේ දී අපිට එකිනෙකා හොඳින් තේරුම් ගන්න පුළුවන්.

මේ දවස්වල චතුරිකා මොනවද කරන්නේ?

නාලන් මෙන්ඩිස් අධ්‍යක්ෂණය කරන “සුළං කපොල්ල” ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගි වෙනවා. ඒ ෂූටිං තියෙන්නේ කොළඹ සහ නුවර. ඒක නිෂ්පාදනය කරන්නේ මගේ තාත්තා. ඒ කියන්නේ “ චලරූ” නිෂ්පාදන ආයතනය මගින්.

මොන වගේ චරිතයක් ද චතුරිකා රඟපාන්නේ......

පෙම්වතියක් සහ බිරිඳක් විදිහට රඟපානවා. ඒ කියන්නේ මුලින්ම පෙම්වතිය. ඈ විවාහ වුණාට පස්සේ බිරිඳගේ භූමිකාව. පෙම්වතා විදිහට රඟපාන්නේ කංචන කොඩිතුවක්කු. සැමියා විදිහට රොෂාන් තමයි රඟපාන්නේ.

ප්‍රගීත් රත්නායක අධ්‍යක්ෂණය කරන “ආදරෙයි මං ආදරෙයි” චිත්‍රපටයේ තවත් දර්ශන කිහිපයක් රූගත කරන්න තියෙනවා. ලබන මාසේ 22 න් පස්සේ ඒක පටන් ගන්නවා. ප්‍රගීත් ගේ මුල්ම සිනමා පටයට මම රංගනයෙන් දායක වුණේ හරිම සතුටකින්.

“ස්වයංජාත” ටෙලි නාට්‍යයේ රූගත කිරීම් දැන් අවසාන ද.....?

ඒකෙත් තව පොඩ්ඩක් ෂුටිං තියෙනවා. මැතිවරණ කටයුතු නිසා ඒක මුලින් කල් දාන්න සිද්ධ වුණා. කොහොම වුණත් “ස්වයංජාත” මට ලැබුණ හොඳ අවස්ථාවක්.

ඇයි ඒ......?

මම ඒකෙ රඟපාන්නේ ජීවිතය දිහා ගැඹුරින් බලන තරුණියකගේ චරිතයක්.එවැනි අධ්‍යාත්මික ගුණයෙන් යුත් චරිත රඟපාන්න ලැබෙන්නේ කලාතුරකින්. දැන් මම “සුළං කපොල්ල” ටෙලි නාට්‍යයේ රඟපෑවේ මීට හාත්පසින්ම වෙනස් චරිතයක්. මම ආසයි මේ ටෙලි නාට්‍යය දෙකම එකම කාලෙක විකාශය වෙනවා නම්.

මොකද එතකොට ඒ වෙනස කොයි වගේ ද කියලා ප්‍රේක්‍ෂකයන්ටත් දැක බලා ගන්න පුළුවන්.

හරි, එතකොට කොහොමද ඔයාගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු එහෙම.....?

ඕවා තමයි ඉතින්. සුපුරුදු විදිහට කලා කටයුතුවල යෙදී ඉන්නවා.

එහෙම නෙවෙයි මම ඇහුවේ ඔයාගේ අතිශය පෞද්ගලික තොරතුරු.....?

ඔයා අහන්නේ මගේ ආදරය, විවාහය ගැන කරුණු වෙන්නැති. ඇත්තටම ඒවා දැන් පෞද්ගලික නැහැ. හැමෝම දන්නවා.

එහෙනම් හංගන්නේ නැතිව කෙලින්ම කියන්න කවදාද විවාහය කියලා.....?

අපි දෙන්නට හොඳම කාලය එනකල් ඉන්නවා. මම හිතන්නේ ගෙවල්වලින් අපට දැනුම් දීලා තියෙන්නේ 2011 න් පස්සේ මේ කටයුත්ත සිදු කරන්නයි. මම හිතන්නේ අපේ කේන්දරවලත් තියෙන්නේ ඒ කාලය තමයි විවාහයට සුදුසු කියලා. වෙලාව ආපුවාම ඒ ගැන ඔයාලට කියන්නම්කෝ, සරසවියේ” අයට පුදුම හදිස්සියක් නේ තියෙන්නේ අපි දෙන්නව කසාද බන්ඳන්න.

ආ...... ඒ කියන්නේ 2011 වෙනකල් තව ටිකක් ජොලියේ, සැහැල්ලුවේ ජීවිතේ ගත කරනවා.....?

මොන සැහැල්ලුවක් ද....? මේ ගෙවෙන්නේ අපේ ජීවිතයේ හොඳම කාලය. අපි රටේ සංවර්ධනයට උදවු කරන අය. මේ කාලේ ගෙවල්වලට වෙලා අතපය අකුලවගෙන ඉඳලා හරියන්නේ නැහැනේ. පුළුවන් තරම් කාලයෙන් ප්‍රයෝජන ගන්න ඕනෑ.

ඔයා කොහොමද රටේ සංවර්ධන ක්‍රියාවලියට දායක වෙන්නේ.....?

ඇයි මම ආදායම් බදු ගෙවන නිළියක්නේ. අපේ කලා හැකියාවක් රටට පෙන්නලා ඒ ලැබෙන මුදලින් රටට ආදායම් බදුත් ගෙවනවා. මම කවදාවත් ඒක පැහැර හැරලා නැහැ.

රොෂාන් කිව්වොත් විවාහයෙන් පස්සේ රඟපෑමෙන් අයින් වෙන්න කියලා. මොකද කරන්නේ.....?

නෑ, එයා කවදාවත් එහෙම කියන්නේ නෑ.මම සමහරු දේවලින් මග හරිද්දී එයා තමයි කොහොම හරි මේක කරන්න කියලා මාව ඉදිරියටම තල්ලු කරන්නේ. ඒ රොෂාන් ගේ හැටි.

මේ වගේ ක්ෂේත්‍රයක කටයුතු කරද්දී ඕපාදුප, කට කතාවලට ගොදුරු වෙනවා වැඩියි. ඒ අත්දැකිම් ඔය දෙන්නටත් ඇති.....?

අපි, අපිව හොඳින් තේරුම් අරගෙනයි ඉන්නේ, රොෂාන් සමීපව ආශ්‍රය කරන්නේ කවුද කියන එකත්, මම ළඟ ඇසුර තියෙන්නේ කාත් එක්කද කියලා අපි, අපි දන්නවා. ඉතින් අපි අතරේ එහෙම ගැටලුවක්, අවිශ්වාසයක් නැහැ. අනෙක අපි අපේ නිදහස සීමා කරගෙනත් නැහැ.

චතුරිකාට, රොෂාන් ආදරේට කතා කරන්නේ මොනවා කියලා ද.....?

චතූ කියනවා. ආයේ බබා කියලා කියනවා.ඒ ආදරේට. හැබැයි තරහා ගිය වෙලාවට කතා කරන්නේ පීරිස් කියලා.

Sunday, March 7, 2010

විවාහය ගැන ඒ තරම් හදිසියක් නෑ

By: Last Man On: 4:41 PM

අත්දැකීම් අනුව අපේ සිතුම් පැතුම් වෙනස්වෙනවා...





අත්දැකීම් අනුව අපේ සිතුම් පැතුම් වෙනස්වෙනවා...

(සිය පවුලේ ආභාෂය ද ඇතිව කලා ක්ෂේත්‍රයට පිවිසි ඇය මේ වනවිට ලාංකීය ටෙලි නාට්‍ය කලාව තුළ මෙන්ම සිංහල සිනමාව තුළ ද නම රැන්දූ ඇය සුරූපී, දක්ෂ රංගන ශිල්පිණියකි. ඇය රංගන ක්ෂේත්‍රයට පා තැබුවේ 2002 වසරේදීයි. එදා මෙදා තුර ටෙලි නාට්‍ය හා චිත්‍රපට බොහොමයකට සිය දායකත්වය සපයමින් චතුරිකා පීරිස් නම් ඇය මෙවර ආලින්දය හැඩකරයි.)



* කොහොමද ජීවිතේ?

ටෙලි නාට්‍ය වගේම චිත්‍රපට කිහිපයකම රූගත කිරීම් මේ දිනවල යෙදිලා තියෙනවා. නාලන් මෙන්ඩිස්ගේ"සුළං කපොල්ල"චිත්‍රපටය, ප්‍රගීත් රත්නායකගේ"ආදරෙයි මං ආදරෙයි"චිත්‍රපටය වගේම තවත් චිත්‍රපට කිහිපයකම රූගත කිරීම් සිදුවෙනවා. මේ දවස් වල වැඩිපුරම දායකත්වය දීලා තියෙන්නේ චිත්‍රපටවලටයි. ඒ ඇරෙන්න ටෙලි නාට්‍ය කිහිපයකත් වැඩ කටයුතු යෙදිල තියෙනවා. * තවමත් විවාහවෙන්න අදහසක් නැද්ද?

අ‍පේ දෙමාපියන්ගේ කැමැත්ත අපේ විවාහය සුදුසු නැකතටම කරන්නයි. එයාලා තවමත් ඒ නැකත උදාවෙනකන් බලං ඉන්නවා. ඉතින් රොෂාන්ටයි මටයිත් විවාහය ගැන ඒ තරම් හදිසියක් නෑ. සුදුසු කාලය එනකම් අපි දෙන්නත් බලං ඉන්නවා.

* ඔබ ක්ෂේත්‍රයට පිවිසුණු මුල් කාලයට වඩා මේ වනවිට ඔබේ ජනප්‍රියත්වය අඩුවෙලා කියලා හිතෙන්නේ නැද්ද?

නැහැ, ඇත්තටම මම මුල් කාලයේ ලබාගත්ත ජනප්‍රියත්වය අද වනවිටත් ඒ මට්ටමේම රැඳිලා තියෙනවා. මා එක්ක සමකාලීනව රංගනයට පිවිසුණු නිළියන්ගේ ජනප්‍රියත්වයත් ඒ විදිහටම තියෙනවා. නමුත් වර්තමානයේ රැල්ලට රංගනයට පිවිසෙන තරුණ නිළියන්ව මාධ්‍ය මගින් එකවරම ලොකු තැනකට ගෙනත් එකවරම අතහැරලා දානවා. ඒ අතරෙ කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපේ ජනප්‍රියත්වය අඩුවෙලා කියලා. නමුත් ඇත්තටම අපි ක්ෂේත්‍රයට ආවේ යම් හැකියාවක් ඇතුවයි. ඒ තුළින් අපට තවමත් ක්ෂේත්‍රය තුළ රැඳී සිටීමට හැකියාව ලැබී තිබෙනවා. තවමත් මට ජනතාවගේ ආදරය ලැබෙනවා.

* වර්තමානයේ බොහෝ රංගන ශිල්පිණියන් රංගනයට අමතරව නිවේදනය, ගායනය ආදී වෙනත් ක්ෂේත්‍රයන්ටත් යොමුවීම දක්නට ලැබෙනවා. ඔබටත් එහෙම අදහසක් නැද්ද?

මට ආරාධනා ලැබෙන සංගීත සංදර්ශන සඳහා මම ඉඩලැ‍බෙන විදිහට සහභාගි වෙනවා. නමුත් මම සංගීතය හා රංගනය පටලවාගන්නේ නෑ. මම වෘත්තීය රංගන ශිල්පිණියක්. ඊ‍ට බාධාවක් නොවන විදිහටයි මම සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධවෙන්නේ. රංගනය කියන්නේ ආසාව නිසාම කරන්න පුළුවන් දෙයක් නෙමේ. ඒ සඳහා හැකියාව වගේම කැපවීමත් අවශ්‍යයි. රංගන ක්ෂේත්‍රය තුළ ඉගෙනගන්න හුඟක් දේවල් තියෙනවා. ඒවාට ලංකාවේ ඉඩක් නෑ. ස්වඋත්සාහයෙන්ම අපි ඒ දේවල් ගැන අධ්‍යයනය කළ යුතුයි. ඒ සඳහා කාලය අවශ්‍යයි. මම මගේ මූලික අවධානය යොමුකරන්නේ රංගනය කෙරෙහියි. වෙනත් ක්ෂේත්‍රයකට පිවිසීමේ අදහසක් මට නෑ.

* රංගන ශිල්පිණියක් ලෙස මේ දක්වා පැමිණි ගමන ගැන ඔබ සෑහීමට පත්වෙනවද?

ඇත්තටම මම සෑහීමට පත්වෙනවා. වසර අටක කාලයක් තුළ බොහෝ නිර්මාණ වලට දායකවී‍මේ හැකියාව මට ලැබුණා. මම රංගනයට පිවිසුණු මුල්ම කාලේ ලැබුණේ හුඟක් හොඳ නිර්මාණ. නමුත් දැන් බිහිවන බොහෝ නිර්මාණ ගුණාත්මක බවින් අඩුයි. ඉස්සර තිර පිටපතක් ලිව්වට පස්සේ ඉන් නිර්මාණයක් බිහිවන්නේ කිහිපවතාවක්ම සංස්කරණය වුණාට පස්සෙයි. අද වෙනකොට පිටපතේ පිටු කිහිපයක් ලිව්වට පස්සේ රූගත කිරීම් පටන්ගන්නවා. ඇතැම් අවස්ථාවලදී පිටපත ලියන්නේ තෝරාගත් නළුවා හෝ නිළියට ගැළපෙන ‍විදිහටයි. ඒ නිසාම මම දැන් නිර්මාණයකට දායකවෙද්දී තෝරා බේරාගෙන ගුණාත්මක නිර්මාණ වලට පමණයි සම්බන්ධවෙන්නෙ. මම දැන් වැඩිය පේන්න නෑ කියලා හුඟදෙනෙක් කියන්නෙත් ඒ නිසයි.

* විවාහවෙන්න අදහසක් නෑ කියලා කියපු රොෂාන් පිලපිටිය අවසානයේ විවාහවෙන්න තීරණය කළේ ඇයි?

කාලයත් එක්ක ඒ අදහස වැරදියි කියලා රොෂාන්ට හිතෙන්න ඇති. වයසින් පරිණත වෙද්දි පවුල් සංස්ථාවක අගය තේරෙන්න ඇති. කාලයත් එක්ක අත්දැකීම් අනුව අපේ සිතුම් පැතුම් වෙනස්වෙනවා. (සිනාසී)කොහොමත් වයසට යද්දී අපි පුංචි කාලේ කරපු සෙල්ලම් සේරම ඉවරයි.

* ක්ෂේත්‍රයේ කෙනෙක්ම සහකරු විදිහට තෝරාගත්තේ ඔහු ඔබේ වෘත්තිය පිළිබඳව මැනවින් වටහාගනීවි කියලා හිතුන නිසාද?

ඇත්තටම මම බලාපොරොත්තුවෙන්නේ දිගටම රංගනය තුළ රැඳී ඉන්නයි. ඒ නිසා මගේ සහකරුගෙන් මගේ වෘත්තියට ලැබෙන සහයෝගය ඉතාම වැදගත්. නමුත් ඇතැම්විට ක්ෂේත්‍රයේම කෙනෙක් හමුවුණත් ඔහුට මාව තේරුම්ගන්න බැරිවෙන්න පුළුවන්. අපි දෙදෙනා අතර ඒ වගේ නොගැළපීම් තිබුණොත් සාර්ථක පවුල් ජීවිතයක් ගතකරන්න බෑ. මට මේ අවස්ථාව ලැබුණේ මගේ පවුල් පසුබිමත් එක්ක. ඒ දේවල් එකවර අතහරින්න බෑ. මම හිතන්නේ මේ හැමදෙයක්ම තීරණය වෙන්නේ අපේ දෛවය අනුවයි. අපේ කර්මය අනුවයි. ඉතින් මට රොෂාන් වගේ කෙනෙක් මුණගැහෙන්න ඇත්තෙත් ඒ නිසාම වෙන්න ඇති.

* ඔබ හිතන විදිහට ක්ෂේත්‍රය තුළ ඔබට සිටින තරගකාරියන් කවුද?

මට ක්ෂේත්‍රයේ තරගකාරියන් නෑ. ඇතැම් අවස්ථාවලදී මට ලැබෙන නිර්මාණයකට මගේ කාර්යබහුලත්වය හෝ වෙනයම් කාරණයක් මත වෙනත් නිළියක තෝරාගන්න පුළුවන්. නමුත් ඇය ඒ චරිතය සඳහා සියයට සියයක්ම ගැළපෙනවා කියලා කියන්න බෑ. අද පවතින තරගකාරිත්වය නිසාම ඇතැම් ශිල්පිණියන් අතර මතභේදයන් පවා හටගන්නා අවස්ථා දකින්න පුළුවන්. මම එවැනි අවස්ථාවකට මුහුණ දී නැතිවුණත් ඒ වගේ දේවල් නිසා ක්ෂේත්‍රය තුළ දීර්ඝකාලීනව රැඳීසිටීමට අපහසුවෙනවා.

* වර්තමානයේ ක්ෂේත්‍රයට පිවිසෙන බොහෝ ශිල්පිණියන් දකින්න ලැබෙන්නේ ටික කාලයයි. ඔබ හිතන විදිහට ඊට හේතුව කුමක්ද?

වර්තමානයේ ආධුනික ශිල්පිණියන් දක්ෂ නෑ කියන්න බෑ. දක්ෂ අය ඉන්නවා. නමුත් මම හිතන්නේ ඔවුන්ට අවස්ථාවන් ලැබෙන්නේ නෑ. ඇතැම් ශිල්පිණියන් අවස්ථාවන් ලබාගන්න විවධ මාර්ග වලින් ක්ෂේත්‍රයට පිවිසෙනවා. නමුත් අවසානයේ ඔවුන් ඒ මාර්ග වලින්ම ඉවත්ව යනවා. දක්ෂ ශිල්පිණියන්ට තමන්ගේ හැකියාවන් ඉදිරිපත් කිරීමට අවශ්‍ය හොඳ නිරිමාණ බිහිවන්නේ නෑ. අද තියෙන්නේ දමල ගහන ‍ටෙලි නාට්‍ය කලාවක්. අද නිළියන්ගේ ප්‍රතිරූප ගොඩනඟන්නේ මාධ්‍ය. මාධ්‍ය විසින්ම ඒ ප්‍රතිරූප බිඳදමනවා. ඒකයි වර්තමාන රංගන ක්ෂේත්‍රයේ තත්ත්වය.

*රංගන ශිල්පිණියකට පෞද්ගලික ජීවිතයක් පවත්වාගෙන යන්න අපහසුයි නේද?

අපහසු වෙන්න පුළුවන්. නමුත් මට නම් පෞද්ගලික ජීවිතයක් තියෙනවා. මම හැම දෙයක්ම කරන්නේ සැලැස්මකට අනුවයි. ජනප්‍රිය පුද්ගලයෙකු වුණත් ඔහු තමන්ගේ පෞද්ගලික ජීවිතයේ බැඳීම් පවත්වා ගත යුතුයි. කොයිතරම් කාර්යබහුල වුණත් මම මගේ පවුලේ සාමාජිකයින් සමග කාලය ගතකරන්න අනිවාර්යයෙන්ම වේලාවක් යොදාගන්නවා. මම මගේ විවේකය සදහා වෙන්කර ගත් කාල වේලාවන් වලදී මාධ්‍ය වලට සම්මුඛ සාකච්ඡාවක්වත් ලබාදෙන්නේ නෑ.

* අනාගත සැලසුම්?

දිගටම රංගනයේ යෙදෙනවා. ලොකු දේවල් නම් මම ජීවිතේ තුළ සැලසුම් කරගෙන නෑ. නමුත් අනාගතයේදී වෘත්තිය වගේම පෞද්ගලික ජීවිතයෙත් යම් යම් සැලසුම් කිහිපයක් තියෙනවා. ඒ දේවල් ඉස්සරහට දැනගන්න ලැබේවි.

Thursday, October 22, 2009

කාගෙවත් බලපෑමකට යටත් වෙන එක නම් මෝඩකමක්

By: Last Man On: 12:58 PM
පුංචිම තැනින් පටන් ගෙන ඉදිරියට ආ රංගන චාරිකාව දිහා අද ආපසු හැරිලා බලද්දී චතුරිකා පීරිස් කියන අපේ සොඳුරු නිළියට ඇත්තටම සතුටු වෙන්න පුළුවන්. පුංචි තිරය වගේම සිනමාවත් තම අපූර්ව රංගනයන් විදහා දක්වන්නට කදිම තෝතැන්නක් කරගත් ඈ ඒ හරහා ලැබූ ප්‍රේක්ෂක ආකර්ෂණයත් සුවිශේෂයි.

චතුරිකා......

විටෙක ඔබේ මුවට හසරැල්ලක් එක් කළ, තව වරෙක කඳුළින් ඔබේ දෙනෙත තෙත් කළ ඈ මේ ජීවන රඟ මඩලේ සැබෑ යොවුන් අසිරිය සිය රංගනයට මුසු කර ගත්තේ ඉතාමත් සංවේදීව. අපේ හදවතට දැනෙන විදිහට.

නව පරපුරේ බොහෝ නිළියන්ගේ හැකියාවන් පුංචි තිරයට පමණක් සීමාවෙද්දී චතුරිකා රිදී තිරයේත් දිදුලන තරුවක් බවට පත්වෙලා. ඒ ඇගේ දක්ෂතාවයට වාසනාවත් එකතු වූ නිසාමයි.

එන්න, අපි කතා කරමු, විමසා බලමු, ඇගේ අලුත්ම තතු පිළිබඳ මෙතැන් සිට, සැබෑම වූ සෙනෙහසින්......

ඔයා රඟපෑ චිත්‍රපට දෙකක් තිරගත වෙන්න නියමිතයි. චතුරිකා අපි කතා කරමු ද ඒ ගැන......?

ඔව්, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන ආනන්ද වික්‍රමසිංහ මහතාගේ “හදවත මල් යායයි” සහ ප්‍රගීත් රත්නායකගේ “ආදරෙයි මං ආදරෙයි “ කියන චිත්‍රපට දෙකේ මම රඟපෑවා. ඒ දෙකම ප්‍රධාන චරිත. යොවුන් පෙම්වතියගේ චරිතය මම රඟපාන්නේ. නමුත් ඒ චරිත එකිනෙකට වෙනස්.

මොකක්ද ඒ වෙනස.....?

“හදවත මල් යායයි” චිත්‍රපටයේ දඟකාර, සැහැල්ලු සුන්දර යුවතියක් විදිහට මම රඟපාන්නේ.

ඒ කියන්නේ ඔයා වගේ .....?

ටිකක් විතර. විශේෂයෙන්ම මෙහි තිර රචනය හොඳට ලියලා තිබුණා. ඒ නිසා මට චරිතය ගොඩ නගා ගන්න ලොකු අනුබලයක් ලැබුණා. මම හිතන්නේ ආනන්ද වික්‍රමසිංහ වැනි ප්‍රවීණ අධ්‍යක්ෂවරයෙක් යටතේ රඟපාන්න ලැබීම මගේ වාසනාවක්.

එතකොට ‘ආදරෙයි මං ආදරෙයි’ චිත්‍රපටයේ මම නිරූපණය කලේ මල්මී කියලා අහිසංක දුප්පත් යුවතියකගේ චරිතයක්. ඇය ආදරයට ගොඩක් ආදරය කරන කෙනෙක්. ඒත් පෙම්වතාගේ මවුපියන්ට ගොඩක් බය පක්ෂපාතයි. ඇයත් අපේ යුවතියන් වගේ ජීවිතයේ ගොඩක් ප්‍රාර්ථනා, බලාපොරොත්තු පොදි බැඳ ගත් යුවතියක්.

මේ චරිත දෙකෙන් ඔයා වඩා කැමැති.....?

මම හිතන්නේ මේ ජීවිතයේ වෙනස් පැතිකඩ ස්පර්ශ කළ චරිත දෙකක්. චරිත අතින් වෙනස් වුණාට මේ හරහා කතා බහ කරන්නේ අපේම තාරුණ්‍යය ගැන. චරිත දෙකම එක වගේ තෘප්තියකින් මම රඟපෑවා.

ප්‍රගීත් දක්ෂ රංගන ශිල්පියකු බව අප දන්නවා . ඒත් ඔහු අධ්‍යක්ෂණයට නවකයෙක්.....?

මේ වගේ භාරදූර වගකීමක් ප්‍රගීත් බාර ගන්නේ කොහොමද කියලා මුලින් මට හිතුණා. මොකද චිත්‍රපටයක් කියන්නේ දැවැන්ත මුදලක් වැය කරලා කරන කටයුත්තක්. ඒත් රූගත කිරීම් පටන් ගත්තට පස්සේ මට තේරුණා ප්‍රගීත් ඒ කාර්යයට අතගසා තිබෙන්නේ කිසිවක් නොදැන නෙවෙයි කියන එක.

ඔහු ලේසියෙන් සෑහීමකට පත්වෙන අධ්‍යක්ෂවරයෙක් නෙවේ. අවශ්‍ය රූප රාමුව ලැබෙන කල් ඔහු ඒ ෂොට් එක ගන්නවා. ඒ වගේම දර්ශන තලයේ දී ප්‍රගීත් අපට හොඳින් සැළකුවා. අනවශ්‍ය විදිහට අපිට වෙහෙසට පත් කළේත් නැහැ. නළු, නිළියන්ගේ රංගනය සහ රූප රාමු තමයි චිත්‍රපටයක අවුට් පුට් එක වෙන්නේ. ප්‍රගීත් ඒක හොඳින් තේරුම් අරගෙන කටයුතු කළා කියලා මට හිතෙනවා.

සමකාලීන අනෙක් නිළියන්ට වඩා අපේ සිනමාවේ ඔයාට වැඩිපුර අවස්ථා ලැබුණා කියා මට හිතෙනවා .....?

අද චිත්‍රපට ගොඩක් හැදෙනවා අඩුයි. මේ තරම් බදුවලින් නිදහස් වෙලත් නිෂ්පාදකයෝ නැත්තේ ඇයි කියන එක ලොකු ගැටලුවක්. එවැනි තත්ත්වයක මේ තරමින් හරි නිර්මාණවලට දායක වෙන්න ලැබීම සතුටක්. ඒත් සිනමාවේ හරි අවස්ථාවක් මට තාම ලැබුණේ නැහැ. මාව චිත්‍රපටවලට දායක කර ගත් අධ්‍යක්ෂවරුන්ට ස්තූතිවන්ත වෙනවා.

ටෙලි නාට්‍යය නිළියක් කියන තැනෙන් මිදිලා සිනමාවේ දිගු ගමනක් යන්න ඔයාට තවත් අවස්ථා ලැබෙයි කියා මට හිතෙනවා.....?

මට ඒ කැපකිරීම කරන්න පුළුවන්. ටෙලි නාට්‍යයි, චිත්‍රපටයි එකට බදාගෙන කරන්න මට වුවමනාවක් නැහැ. නමුත් අද ආර්ථිකයත් එක්ක හැම දේම බදාගෙන කරන්න බොහෝ දෙනෙකුට සිදුවෙලා තියෙනවා. ඒකෙන් නිර්මාණයටවත්, තමන්ටවත් සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ.

වානිජ සිනමාවේ වගේම කලාත්මක සිනමාවේත් චරිතාංග නිළියක් විදිහට මගේ හැකියාවන් පෙන්වන්න අවස්ථාවක් ලැබෙනවා නම් ඇත්තටම මම ලොකු කැපවීමකින් ඒ සඳහා දායක වෙනවා.

ටෙලි නාට්‍යය රංගනයෙන් අපිට සීයට සීයක්ම තෘප්තිමත් වෙන්න බැහැ. අද හැදෙන සමහර ටෙලි නාට්‍යය දිහා බලපුවාම ඒවයේ රඟ නොපා ඉන්නවා නම් හොඳයි කියලා හිතෙනවා.

ඒ කියන්නේ චතුරිකා රඟ පෑ ටෙලි නාට්‍යය සම්බන්ධයෙනුත් ඒ පසුතැවිල්ල තියෙනවා....?

ඔව්,ටෙලි නාට්‍යය කිහිපයක් ගැන, ගොඩක් වෙලාවට ඒවා කෙරුණේ යාළුකමට. තාත්තාගේ යාළුවන්ගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන්න බැරි වුණ වෙලාවලුත් තියෙනවා.

එහෙම බෑ කියන්න බැරිකමට කෙරුණ ටෙලි නාට්‍යය ගැන මම සෑහීමකට පත් වෙන්නේ නැහැ. හැබැයි අද මම ටෙලි නාට්‍යයක් හරි චිත්‍රපටයක් හරි බාර ගන්නේ ඒ ගැන දෙවරක් හිතලා.

කොහොම වුණත් තවත් සුවිශේෂ ටෙලි නාට්‍යයක, සුවිශේෂ චරිතයක් රඟපෑමේ භාග්‍යය පසුගිය දිනවල ඔයාට උදා වුණා.....?

“ ස්වයංජාත” නවකතාව ඇසුරින් සුදත් රෝහණ අධ්‍යක්ෂණය කරන “ස්වයංජාත” ටෙලි නාට්‍යයේ “පබා”ගේ චරිතය රඟපෑමේ වරම මට ලැබුණා. ඒක ලොකු දෙයක්. චරිතාංග නිළියක් විදිහට මගේ හැකියාවන් පෙන්නුම් කරන්න ලැබුණ හොඳ අවස්ථාවක් විදිහටයි මම ඒක දකින්නේ. “පබා” අවුරුදු විසි එකක වයසේ ඉඳලා අවුරුදු හැට දක්වා විහිදෙන චරිතයක්

“පබා” ගැන මොකද හිතෙන්නේ ......?

ඇය බොහොම සුන්දර, ඒ වගේම ඥානාත්විත යුවතියක්. පබා තමන්ගේ මවුපියන්ට, සොයුරියට ගොඩක් ලැදියි. ඈ තමන්ගේ ඥාති සොහොයුරා වූ විභූතිරත්නට ජීවිතය ගැන සුබවාදීව හිතන්න පොළඹවනවා. ඒ දෙන්නා අතර තියෙන්නේ ආධ්‍යාත්මික බැඳීමක්. “ස්වයංජාත” නවකතාවත් මම ආසාවෙන් කියවපු පොතක්. “පබා” මගේ රංගන දිවියේ රඟපාන්න ලැබුණ සුවිශේෂ චරිතයක් කියා මට හිතෙනවා.

චතුරිකාට ගොඩක් වෙලාවට රඟපාන්න ලැබුණේ පෙම්වතියගේ චරිත. මේ නිසා රංගනයේ ඒකාකාරී බවක් ඔයාට දැනුණේ නැද්ද....?

පවුල් පසුබිම හා හැදෙන, වැඩෙන රටාවත් එක්ක තමයි බොහෝ විට මේ චරිත එකිනෙකට වෙනස් වෙන්නේ. ඒ වගේම බාහිර සමාජයත් එක්ක ඔවුන් ගනුදෙනු කරන විදිහ. සමහරු තමන්ගේ පෙම්වතාට බයයි. තවත් කෙනෙක් පෙම්වතාව සත පහකට ගණන් ගන්නේ නැහැ.

ප්‍රේම සම්බන්ධතාවලදී ඇතැම් තරුණියෝ ගොඩක් විවෘතයි. නමුත් මවුපියන්ට ගරු කරනවා. මේ වගේ නොයෙක් ආකාරයේ ගතිගුණ තිබෙන පෙම්වතියෝ තමයි අපේ සමාජයේ ඉන්නේ. අධ්‍යක්ෂවරයා මගෙන් බලාපොරොත්තුවන දේ, මාව හසුරවන විදිහත් එක්ක තමයි පෙම්වතියගේ ස්වභාවය මොන වගේ ද කියලා තීරණය වෙන්නේ. මට ලැබුණ විවිධ චරිත සාර්ථකව රඟපෑවා කියලා මට හිතෙනවා.

මුලින්ම තෝරා ගත් නළු නිළියන් නෙවෙයි ඇතැම් නිර්මාණවලට අවසානයේ රංගන දායකත්වය ලබා දෙන්නේ. එවැනි අවස්ථාවල චතුරිකා වෙනත් නිළියන් ප්‍රතික්ෂේප කළ චරිතය බාර ගන්නේ නැහැ කියන කතාව ඇත්ත ද?

මෙහෙමයි. මුලින්ම මම කතා කරලා ඒ අදාළ නිළියගෙන් අහනවා ඒ ප්‍රතික්ෂේප කිරීමට හේතුව. නිෂ්පාදකයා පොල්ලක් තියලා හරි එහෙම නැතිනම් නිළියගේ පැත්තෙන් ඇයට අසාධාරණයක් වෙලා තියෙනවා නම් හරි මම ඒ චරිතය බාර ගන්නේ නැහැ. තිර පිටපතේ අඩුපාඩුවක්ද කියලත් විශේෂයෙන්ම බලනවා.

එහෙම නැතුව දරුවෙක් ලැබෙන්න ඉන්න නිසා කෙනෙක් තමන් බාර ගත්ත චරිතය රඟ නොපාන්න තීරණය කර තිබුණා නම් අන්න ඒ වගේ අවස්ථාවල ඒ චරිතය මට ගැළපෙනවා නම් බාර ගන්නවා. ඒක මානුෂීය ප්‍රශ්නයක් නිසා.

නිළියන්ට නිෂ්පාදක, අධ්‍යක්ෂවරුන්ගේ අනිසි බලපෑම්වලට ලක්වෙන්නට සිදුවන අවස්ථාත් අපට, අහන්න දකින්න ලැබෙනවා. සමහරුන්ට තමන්ගේ වෘත්තීය පැවැත්මට ඒවාට අවනත වෙන්නත් සිදු වෙනවා ඇතැම් වෙලාවට.....?

එහෙම කාගෙවත් බලපෑමකට යටත් වෙන එක නම් මෝඩකමක්. මම පැහැදිලි ගමනක් ඇවිත් තියෙනවා. ආත්ම ගෞරවය විනාශ කර ගෙන තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්න හදන එක මහ මෝඩකමක්. මුළු ජීවිත කාලයම ඒක විඳවන්න වෙනවා. ආත්ම ගෞරවයකින්, අභිමානයකින් සමාජයට මුහුණ දෙන්න බැරි වෙනවා එතකොට.

ඔයාට කවදාවත්, කාගෙන්වත් එහෙම බලපෑමක් ඇවිත් නැහැ.....?

ඇත්තටම නැහැ. මම හිතන්නේ කෙනෙක් සමාජයේ හැසිරෙන විඳිහ අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ඕනෑම කෙනෙක් දැනගෙන ගින්දරට අත දාන්න යන්නේ නැහැනේ.

ඒ කියන්නේ චතුරිකා ගින්දර වගේ සැරයි?

මම ඕනෑම කෙනෙක් එක්ක කෙලින් කතා කරන කෙනෙක්. ඒ නිසා ද මන්දා මට ගොඩක් වෙලාවට අනවශ්‍ය ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙලා නැහැ. රොෂාන් වුණාත් පුරුෂාධිපත්‍ය කියන දේ ඔළුවෙ තියාගෙන වැඩ කරන කෙනෙක් නෙවේ.

අපි දෙන්නා සමානයි කියලා තමයි එයා හිතන්නේ. ඒ නිසා ඔහු මට ගරු කරනවා. මමත් ඔහුට අයුතු බලපෑම් කරන්න යන්නේ් නැහැ.

ඉස්සර අපේ නළු, නිළියන්ට තිබුන ආකර්ෂණය, ආදරය අද වෙන කොට මම හිතන්නේ අවප්‍රමාණය වි තියෙනවා. ඒකට හේතුව හැටියට ඔයා දකින්නේ.....?

මම හිතන්නේ අපේ සිනමාවට ජාතික ප්‍රතිපත්තියක් නැතිකම. රංගන ශිල්පය හදාරන්න, වැඩි දියුණු කර ගන්න අපට ආයතනයක් නැහැ. විශේෂයෙන්ම ටෙලි නාට්‍ය නිර්මාණකරණයේ දී අද සිදුවෙලා තියෙන්නේ ආයතන මගින් දෙන බජට්වලට ටෙලි නාට්‍යය හදන්න.

මේ නිසා කවුරු හරි පාරේ යන කෙනෙක් දාලා හරි වැඩේ කරන්නයි කවුරුත් හදන්නේ. එහෙම රඟපාන්න එන අයට කිසිම වෘත්තීය සුදුසුකමක් නැහැ. ඔවුන්ගේ හැසිරීම් රටාව වෙනස්. අනෙක් කෙනාට ගරු කිරීමක් නැහැ.

මෙවැනි තත්ත්වයන් නිසා අද බොහෝ නළු නිළියෝ සමාජයේ අතිශය සාමාන්‍ය චරිත බවට පත්වෙලා. ඉස්සර නළු නිළියන්ට වෘත්තිය වටිනාකමක් තිබුණා. ඒ නිසා තමන්ව නඩත්තු කර ගන්නත් ඔවුන්ට පුළුවන් වුණා. ඒත් අද එහෙම නඩත්තු වෙලා ඉන්නේ කීප දෙනෙක් විතරයි.

ඒක නෙවෙයි දැන් කවදද වෙඩිං එක.......?

තාම දවස තීරණය කරලා නැහැ. එහෙම වුණදාට මුලින්ම “සරසවිය” ට කියන්නම්.

මේ අවුරුද්දෙම.....?

මේ අවුරුද්ද දැන් ඉවරයිනෙ.

එහෙම නම් 2010 වසර ඔයාගේ ජීවිතයට වාසනාවන්ත, සිතුම් පැතුම් ඉටුවෙන වසරක් වේවා කියලා ඔන්න වේලපහම අපි ප්‍රාර්ථනා කරනවා.

සරසවියේ ඔයාලා සියලු දෙනාටත් එසේම වේවා!