Showing posts with label Nirosha Perera. Show all posts
Showing posts with label Nirosha Perera. Show all posts

Monday, July 18, 2011

විවාහය ගැන හිතන්න මට වෙලාවක් නෑ

By: Last Man On: 1:58 AM


නිරෝෂා පෙරේරා

නිරෝෂා පෙරේරා දක්ෂ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියකි; රංගන ශිලිපිනියකි. ඇය සහ ඇයගේ නැඟණිය ඉදිරිපත් කරන ‘ඉරෝෂයි – නිරෝෂයි’ වැඩසටහන රූපවාහිනී පේ‍්‍රක්ෂකයින් අතර ඉතා ජනප්‍රියය. ඇය කටකාරියකි. කිවයුතු දේ සෘජුවම පවසන්නියකි.
ඉතා සංවේදී චරිතයක් ද වන නිරෝෂා ක්ෂේත්‍රයේ කා අතරත් හොඳ හිත පතුරුවන්නියකි. අද රසඳුන සතුටු සාමීචිය වෙන්වන්නේ නිරෝෂා පෙරේරා සමඟ කළ කතාබහ වෙනුවෙනි.


නිරෝෂා මොනවද අලුත් තොරතුරු?
සුපුරුදු පරිදි සතුටින් කාලය ගෙවනවා. සතිපතා මගෙ නංගි (ඉරෝෂා පෙරේරා) සමඟ ‘ඉරෝෂයි – නිරෝෂයි’ රූපවාහිනී වැඩසටහන ඉදිරිපත් කරනවා. ඒ වගේම සිරස සුපර් ස්ටාර් Generation - 4 වැඩසටහන ඉදිරිපත් කරන්නත් දායක වෙනවා.
’ඉරෝෂයි – නිරෝෂයි’ සංකල්පය කාගේද?
මීට වසර ගණනාවකම ඉඳල රූපවාහිනී නාලිකා කීපයකින්ම ආරාධනා ලැබුණා ඉරෝෂටයි මටයි එකතුවෙලා රූපවාහිනී වැඩසටහනක් ඉදිරිපත් කරන්න කියල. ඒ දවස්වල මම සිරස රූපවාහිනියේ වැඩසටහන් ඉදිරිපත් කරමිනුයි හිටියේ. එහිදී සිරස රූපවාහිනියෙ සුසාර දිනාල් මට යෝජනාවක් කළා ඉරෝෂටයි මටයි එකතුවෙලා වැඩසටහනක් කරන්න කියල. ඒ වෙලාවෙ මම සුසාරට යෝජනා කළා කවුරුත් නොකළ අලුත් දෙයක් කරමු කියල. ඒ වනවිටත් ඉරෝෂයි - නිරෝෂයි සංකල්පය මගෙ හිතේ තිබුණා. මම ඒ අදහස සුසාරට කිව්වම ඔහු ඒකට කැමැති වුණා. ඒ විදියටයි ‘ඉරෝෂයි - නිරෝෂයි’ වැඩසටහන නිර්මාණය වුණේ.
’ඉරෝෂයි - නිරෝෂයි’ වැඩසටහනට ඉරෝෂගෙන් ලැබෙන්නේ මොනවගේ සහයෝගයක්ද?
මේ වැඩසටහන ආරම්භ කළ කාලෙ වැඩසටහන වෙනුවෙන් ගොඩක් මහන්සි වුණේ මම. ඒ; මේ වැඩසටහනේ සංකල්පය මගෙ හිතේ තිබුණු දෙයක් නිසා. වැඩසටහනට සහභාගිවෙන ආරාධිත ශිල්පීන්ගෙන් විමසන්න ඕන දේවල් පවා තීරණය කළේ මම. නමුත් දැන් සම්පූර්ණයෙන්ම ‘ඉරෝෂයි - නිරෝෂයි’ වැඩසටහන නිර්මාණය කරන්නෙ ඉරෝෂා. මගෙ නංගි ඉරෝෂා නිහඬ චරිතයක්. ඒ වගේම ඉතාම කාර්යබහුල චරිතයක්. නමුත් ඉරෝෂා මේ වැඩසටහන වෙනුවෙන් විශාල කාලයක් කැප කරනවා. ඒ නිසයි මේ වැඩසටහන තාමත් සාර්ථකව ගෙනියන්න හැකිවෙලා තියෙන්නෙ.
ව්‍යාපාර කටයුතු කරන්නේත් ඔබ දෙදෙනා හවුලේද?
නැහැ. මම ව්‍යාපාරවලට සම්බන්ධ නැහැ. නංගි තමයි දැන්වීම් නිර්මාණ ආයතනයක් කරන්නෙ. මම හරිම කම්මැලි චරිතයක්. මට කොහෙත්ම බැහැ බිස්නස් කරන්න. අනෙක මට බැහැ මාව මාකට් කරන්න. තවත් කාරණයක් තමයි මට ඉක්මනින්ම බිස්නස් එපාවෙනවා. මම බිස්නස් එකක් පටන්ගත්තොත් මාත් එක්ක වැඩකරන අය තමයි අතරමං වෙන්නේ. මගෙ නංගි ඉරෝෂා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව හදාරල තියෙන නිසා බිස්නස් එයාගෙ ඇඟේ තියෙනව.
ඔබ වැඩියෙන්ම කැමැති රංගනයට ද රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කිරීමට ද?
මම වැඩියෙන්ම කැමැති වැඩසටහන් ඉදිරිපත් කිරීමට. රඟපාන්න ලැබුණු හොඳ චරිත ගණනාවක්ම මගේ වැඩසටහන් ඉදිරිපත් කිරීමේ කටයුතු නිසා ප්‍රතික්ෂේප කරල තියෙනව. රූපවාහිනී නිවේදන කටයුතු සහ වැඩසටහන් ඉදිරිපත් කිරීම මම සලකන්නෙ විශාල වගකීමකින් කළ යුතු දෙයක් හැටියට. ඒ වගේම රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කිරීමෙන් විශාල තෘප්තියක් ලබනව.
ඔබට භාෂා කීපයක් හොඳින් භාවිතා කළ හැකිද?
මට භාෂා 6ක් හොඳින් කතාකරන්න ලියන්න කියවන්න පුළුවනි. ඒ; සිංහල, දෙමළ, ඉංග්‍රීසි, ප්‍රංශ, ජපන්, ස්පාඤ්ඤ යන භාෂාවන්.
සිරස සුපර් ස්ටාර් Generation -4 ඉදිරිපත් කරන්න හිතුවේ ඇයි?
ඇත්තෙන්ම මේ වැඩසටහන ඉදිරිපත් කරන්න කියල කිව්වම මම මුලින්ම බැහැ කිව්ව. ඒ; සුපර් ස්ටාර් වැඩසටහන මීට කලින් පැවැත්වුණු වැඩසටහනක් නිසා. මම කැමැති ඕනම වැඩසටහනක් මුලින්ම ඉදිරිපත් කරන්න. මේ වැඩසටහනට ආරාධනය කළ අය මට කිව්ව මේ සුපර් ස්ටාර් Season – 4 නෙමෙයි Generation - 4 කියල. ඒ කියන්නෙ හතරවැනි පරම්පරාව. ඒ නිසා මම සුපර් ස්ටාර් වැඩසටහන ඉදිරිපත් කරන්න ඉදිරිපත් වුණා.
ඔබ රංගනයෙන් දායක වුණු ටෙලිනාට්‍ය පිළිබඳව සිහිපත් කළොත්..?
මම මුලින්ම රඟපෑවේ “නිල් අහස වගේ” ටෙලිනාට්‍යයේ. එහි මම රඟපෑවේ, එච්.ඩී.ප්‍රේමරත්න මහතාගේ ඉල්ලීමට. පළමු ටෙලිනාට්‍ය රංගනයට මට රයිගම් සහ සුමති සම්මාන ලැබුණා. ඊට පසුව ‘සරා සහ සුබා’, ‘කුරුලු පිහාටු’, ‘අරුණෝද කලාපය’, ‘රළ බිඳෙන තැන’, ‘ලෝචනා’ වැනි ටෙලිනාට්‍යවල රඟපෑවා.
’එකමත් එක රටක’ චිත්‍රපටය ඔබේ රංගන ජීවිතයේ සන්ධිස්ථානයක් නේද?
ඇත්තෙන්ම ඔව්. මම ජාතික රූපවාහිනියෙ සේවය කරන විට සනත් ගුණතිලක මහතා සහභාගිවෙන වැඩසටහනක් මෙහෙයවන්න මට අවස්ථාව ලැබුණා. ඒ වැඩසටහන අතරතුරේ සනත් ගුණතිලක මහතා මට කිව්ව ඔහුගෙ නවතම චිත්‍රපටයෙ රඟපාන්න එන්න පුළුවනිද කියල. මම කෙළින්ම බැහැ කිව්ව. ඔහු වසර කීපයක්ම චිත්‍රපටයෙ වැඩ පටන්ගන්නෙ නැතිව හිටිය. මගෙ කැමැත්ත ලැබෙන තෙක්. අවසානයේ පිටපතේ යම් යම් වෙනස්වීම් සංශෝධනය එක්ක මම එහි රඟපාන්න කැමැති වුණා. මේ චිත්‍රපටය බාරගන්න තවත් එක් හේතුවක් වුණේ මගෙ තාත්තගෙ ඉල්ලීම. මට තාත්ත කිව්ව සනත් ගුණතිලක කියන්නෙ ක්ෂේත්‍රයෙ ප්‍රවීණයෙක්. ඒ නිසා එයාගෙ නිර්මාණයට දායක වෙන්න කියල.
ඔබ විවාහ වෙන වයසේ පසුවන යුවතියක් නේද?
ඔව්. හැබැයි මේ මොහොත වනවිටත් විවාහය ගැන මගෙ හිතේ කිසිම බලාපොරොත්තුවක් නෑ. අනෙක් කාරණය තමයි මගෙ ජීවන රටාවත් එක්ක විවාහය ගැන හිතන්න මට වෙලාවක් නෑ. මගෙ පවුලට මම ගොඩක් බැඳිල ඉන්න කෙනෙක්. මගේ පවුලෙන් මගෙ ජීවිතයට අවශ්‍ය ආදරය උපරිමයෙන් ලැබෙනවා. ඒ වගේම විවාහය කියන දේ සිදුවිය යුතුම දෙයක් කියල මම හිතන්නෙ නෑ. නමුත් හෙට දිනයේ මේ තීරණය වෙනස් වෙයිද දන්නෙ නෑ. හැබැයි මම විවාහ වුණොත් අනෙක් හැම වැඩක්ම හරියට කරනව වගේම විවාහ ජීවිතයත් ඉතාම හොඳින් ගෙනියනව.
මොනවද ඔබේ පවුලේ තොරතුරු?
මගෙ තාත්ත මීට කලකට පෙර මියගියා. අම්මයි, මමයි, නංගිල දෙන්නයි තමයි අපේ ගෙදර ඉන්නෙ. මට අක්ක කෙනෙක් ඉන්නව. එයා විවාහ වෙලා වෙනම ඉන්නෙ. අපේ පවුලෙ අය එකිනෙකාට හරිම ආදරයෙන් ඉන්නෙ. මම හැමදාම පහන තියල ප්‍රාර්ථනා කරන්නෙ මගෙ පවුලෙ අය හැම ආත්මයකදීම මට හමුවෙන්න කියලයි.
මොනවද ඔබේ ජීවිතේ අනාගත සැලසුම්..?
මගෙ ජීවිතේ කිසිම අනාගත සැලසුමක් නෑ. නමුත් මට ලැබෙන දේ ඉතා හොඳින් කිරීමයි මගෙ එකම අරමුණ. කලාව තුළ මෙතෙක් කලක් කළ දේවල් පිළිබඳව මම සෑහීමකට පත්වෙනව. ඉදිරියේදී මෙතෙක් කලක් නොකළ අලුත් දෙයක් කිරීමයි බලාපොරොත්තුව. ඒ වගේම මට පුංචි ආශාවක් තියෙනව පුංචි ළමයි වෙනුවෙන් සහ වැඩිහිටියන් වෙනුවෙන් මගෙම කියල තැනක් හදල දෙන්න.

Saturday, January 2, 2010

තනිකඩව ඉන්න මම කැමැතියි නිරෝෂා පෙරේරා

By: Last Man On: 2:34 PM

ඇය විටෙක රංගන ශිල්පිනියක ලෙස පේ‍්‍රක්ෂක නෙතු මානයේ ආදරණීය සිතුවම් අඳින්නීය. තවත් විටෙක සොඳුරු වදන් සිතිවිලි බවට පත් කරමින් නිවේදිකාවක ලෙස පේ‍්‍රක්ෂක හද සන්තානයෙහි ලැඟුම් ගන්නීය. පුංචි තිරයේත් රිදී තිරයේත් එකසේ සිය දක්ෂතා විදහාපාන දඟකාර, කටකාර, හැඩකාර මේ සොඳුරු රුවැත්තිය නිරෝෂා පෙරේරායි.

Nirosha Perera by Meesha........

‘එකමත් එක රටෙක’ චිත්‍රපටය ඔස්සේත් ‘නිරෝෂයි ඉරෝෂයි’ ‘සිරස’ විචිත්‍රාංගය ඔස්සේත් අතිශය පේ‍්‍රක්ෂක ප්‍රතිචාර ලැබීමට නිරෝෂා වාසනාවන්ත වූවාය.

අලුත් අවුරුද්දත් එක්ක නිරෝෂත් අලුත් වෙලා ද?

ඇත්තටම අලුත් අවුරුද්ද වෙනුවෙන් පහුගිය දවස් ටිකේම ලකලැහැස්ති වුණා. මම නිතරම හිතන දෙයක් තමයි පවුලේ අය එක්ව සමරන නත්තල, අලුත් අවුරුද්ද වගේ සුවිශේෂී අවස්ථාවලදී ඔවුන් සමඟ එකට එක්වී ඒවා සැමරිය යුතුයි කියන එක. මගේ හිත මිත්‍රාදීන්, පවුලේ අය සමඟ බොහොම සතුටින් අලුත් විදිහට අලුත් අවුරුද්ද සැමරුවා.

ඔවුන් වෙනුවෙන් මගේ කාලය, ආදරය කැප කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. පසුගිය වසර කිහිපයේම මට ගෙදර අයත් එක්ක යාළු මිත්‍රයො එක්ක නත්තල, අලුත් අවුරුද්ද ගත කරන්න ලැබුණෙ නැහැ. මට මොකක්හරි දෙයක් යෙදෙනවා.

නමුත් මේ වසරේ මම කල්පනා කළා මම ගෙදර සිටිය යුතුයි කියලා. මම කාලවේලා ඇතුව, කාලය කළමනාකරණය කර ගෙන ගෙදර අයත් එක්ක අලුත් අවුරුද්ද සැමරුවා.

[Nirosha+Perera.jpg]

ලබපු අලුත් අවුරුද්දේ ඔබ ඉස්ඉස්සෙල්ලාම දායක වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කලා කටයුතු මොනවා ද?

මම මේ වෙනකොට මගේ සමාජ විද්‍යා උපාධියේ වැඩ කටයුතුවල නියැළිලා ඉන්නවා. ඒ කටයුතුත් ඉටු කරගන්න ගමන්ම මට චිත්‍රපට හා ටෙලිනාට්‍ය කීපයකටත් දායක වෙන්න ආරාධනා ලැබුණා. මේවාට දායක වෙනවා ද නැද්ද කියන එක මම තවම තීරණය කරල නැහැ. ඉදිරියේදී මේ ගැන මම තීරණයක් ගනීවි. ඊට අමතරව මගේ නිවේදන කටයුතුවල නිරත වෙනවා.

ඔබ රඟපෑ ‘එකමත් එක රටෙක’ චිත්‍රපටය පසුගිය වසරේ තිරගත වුණා. මේ චිත්‍රපටයේ ඔබ රඟ පෑ රංගනය ගැන මොකද හිතෙන්නේ?

මගේ කලා ජීවිතයේ රඟපෑම සම්බන්ධයෙන් මම ගත්ත ඉතාම හොඳ වැදගත් තීරණයක් තමයි මේ චිත්‍රපටයේ රංගනයට දායක වීම. මට ඒ චිත්‍රපටය ඔස්සේ බොහෝ දේ ඉගෙන ගන්න ලැබුණා. එයින් ම ඉගෙන ගත්ත දෙයක් තමයි අපේ දක්ෂතාවයක් තියෙනවා නම් එයින් නිසි ප්‍රයෝජන ගත යුතුයි කියන දෙය. ඒ වගේ ම අපි කලා ක්ෂේත්‍රයේ දී යම් දෙයක් කරනවා නම් අලුත් දෙයක්, වෙනස් දෙයක් කළ යුතුයි කියන එක. මම මේ චිත්‍රපටය භාරගත්තේ අවුරුදු කීපයක්ම බැහැ කිය කිය ඉඳලා. මම එදා හිතුවා මේ රඟපාන්න සුදුසු කාලය නෙමෙයි කියලා. මොකද මම යමක් කරන්නේ හොඳින් හිතලා බලලා. කාලයක් ගියාට පස්සෙ තමයි මම තීරණය කළේ මෙය මට කරන්න පුළුවන් චරිතයක් කියලා.

ඔබට ලැබුණු පේ‍්‍රක්ෂක ප්‍රතිචාර මොන වගේ ද?

ප්‍රතිචාර නම් ඉතාම ඉහළයි. නමුත් මම රඟපෑවේ මගේ චරිතයට ප්‍රශංසා ලැබෙයි ද, හොඳ කියයි ද, නරක කියයි ද කියන දේ බලාගෙන නෙමෙයි. මම හිතට හරි දේ කරනවා. මට දෙයක් අඩුවෙන් ලැබෙයි, වැඩියෙන් ලැබෙයි කියලා මම හිතන්නේ නැහැ. පොදුවේ ගත්තහම විචාරකයන්, පේ‍්‍රක්ෂකයන් මගේ රංගනය ගැනත්, චිත්‍රපටය ගැනත් කියූ දේවල් ගැන මම සන්තෝෂ වෙනවා.

නිළියක ලෙස ඔබට ලැබෙන ඕනෑම චරිතයක් බාරගන්න ඔබ සූදානම් ද?

අපෝ එහෙම නැහැ. හැම චිත්‍රපටයම භාරගත්ත නම් මේ වෙන කොට මම චිත්‍රපට ගණනාවකම රඟපාලා. මම ජීවිතේ හැම දේකදීම, ලැබෙන හැම දෙයක්ම බාර ගන්න කෙනෙක් නෙමෙයි. තෝරල බේරල, පිටපත කියවලා මට යමක් කරන්න පුළුවන් චරිතයක් විතරයි මම භාර ගන්නේ. මගේ කැමැත්ත, ආශා, ඉතාම සීමිතයි. මට දැඩි අවශ්‍යතා, බලාපොරොත්තු නැහැ. ඒ නිසා තමයි මම අද සතුටුදායක ජීවිතයක් ගත කරන්නේ.

විවාහ වීමට බලාපොරොත්තුවක් නැද්ද?

විවාහය සම්බන්ධයෙන් නම් තවම අදහසක් නැහැ. මම කැමැතියි වැඩි කාලයක් තනිකඩව ජීවිතය ගත කරන්න. විවාහය ප්‍රමාද වන තරමට මගේ පවුලේ අයත් එක්ක ජීවත් වෙන්න, මගේ නිදහස උපරීමයෙන් භුක්ති විඳින්න මට පුළුවන්.

ඔබේ අනාගත බලාපොරොත්තු ?

මට කලාවේ මෙතනට යන්න ඕන, මෙතන ඉන්න ඕනෙ කියන බලාපොරොත්තු නැහැ. නමුත් අසරණ වැඩිහිටි මව්පියන් වෙනුවෙන්, අනාථ දරුවන් වෙනුවෙන් නිවාසයක් හදන්න බලාපොරොත්තු වෙනවා.

නිරෝෂාගේ ලිපිනය.
නො. 92, 9 වැනි පටුමග, අරලිය උයන,
දෙපානම, පන්නිපිටිය.