Saturday, November 7, 2009

Tagged Under:

අපේ ජැකීටත් කතා හැදෙයි

By: Last Man On: 3:02 PM
ශ්‍රී ලාංකේක සුරූපිනියක් මුල් වතාවට බොලිවුඩ් චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් නිරූපණය කරන අයුරු දැන් ඔබටත් නරඹන්නට ලැබෙනවා. සැබවින් ම එය මෙරට බොලිවුඩ් සිනමා රසික රසිකාවියන්ට අමතක නොවන අත්දැකීමක් වේවි.

මේ දුර්ලභ අවස්ථාව මෙරට රසික පරපුරට ලැබෙන්නේ ‘ඇලඩින්’ චිත්‍රපටයෙන්. මෙහි ප්‍රධාන චරිතයක් නිරූපණය කරන යුවතිය ජැකලයින් ෆර්නැන්ඩස් බව දැන් ඔබ හොඳින් ම දන්නවා ඇති. ඇය පිළිබඳ උණුසුම් තොරතුරු අප මීට පෙර මේ පිටුවේ ම සටහන් කළා.

ජැකලයින් උපන්නේ 1985 ජූනි 12 වැනි දා. සමාජ සේවාවන්ටත් ජැකලයින් ප්‍රිය කරනවා. ඒ නිසා තමයි ඇය ලංකාවේ ක්‍රියාත්මක වූ ස්වේච්ඡා සංවිධානයකට බැඳී දුගී දුප්පත් අය බල ගැන්වීමේ වැඩසටහන්වලට මහත් කැමැත්තකින් සහභාගි වුණේ.

2006 වසරේ පැවති ශ්‍රී ලංකා අවිවාහක රූ රැජින (මිස් ශ්‍රී ලංකා) තරගයේ ජය කිරුළ පැලඳුණේ ජැකලයින්ටයි. ඒ නිසා ම ඇයට එම වසරේ පැවති ලෝක අවිවාහක රූ රැජන තරගයටත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වීමේ භාග්‍යය උදා වුණා.

මේ වනවිට ජැකලයින් බොලිවුඩ් සිනමා ලෝකයේ ජනප්‍රිය තරුවක් බවට පත් ව සිටිනවා. මේ නිසා ම ඇයටත් කට කතාවලට මුහුණදෙන්නට සිදුවෙලා. පසුගිය සතියේ බොලිවුඩ් පුරයේ විද්්‍යුත් මාධ්‍ය කිහිපයක් ම ජැකලයින් ගැන උණුසුම් පුවතක් වාර්තා කර තිබුණා.

එයින් කියැවුණේ එක්තරා ඉරිදා සන්ධ්‍යාවකදී ‘ඇලඩින්’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ සුජෝයි සෝෂ් සහ ජැකලයින් සුපිරි අවන්හලකදී හමුවූ බවයි.

ඒ විතරක් නොවෙයි. ඔවුන් දෙදෙනා ලොව පුරා ප්‍රකටව තිබෙන එක්තරා අයිස්ක්‍රීම් වර්ගයක රස බලමින් සිටියාය කියලත් ඒ ආරංචිවල සටහන් වී තිබුණා. ඉන්දියාවේ බන්ද්‍රා ප්‍රදේශයේ පිහිටා තිබෙන සුප්‍රසිද්ධ අවන්හලකදීලු මේ දෙදෙනා අයිස් ක්‍රීම් රස බලා ඇත්තේ.

මේ සිද්ධිය දැනගත්තා එක්තරා මාධ්‍යවේදියෙකුට හදිසියේ ම ‘ඇලඩින්’ චිත්‍රපටයේ කටයුතු කළ කාර්මික ශිල්පියෙකු මුණ ගැසුණා. අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගත් මාධ්‍යවේදියා මේ ශිල්පියාගෙන් විමසුවේ අධ්‍යක්ෂ සුජෝයි සහ ජැකලයින් අතර තිබෙන මේ ඇඟෑලුම්කම මොකක්ද කියලයි. එවිට ‘ඇලඩින්’ චිත්‍රපටයේ කාර්මික ශිල්පියා පැවසුවේ මෙන්න මෙහෙම කතාවක්... ජැකලයින් ‘ඇලඩින්’ චිත්‍රපටයේ රඟපාන්න ආවෙ රික්ෂෝ එකෙන්.

ටික දවසක් ගියාට පස්සෙ එයා රූපගත කරන තැන්වලට ආවෙ අලුත් ම අලුත් ‘හොන්ඩා සිවික්’ කාර් එකකින්. මං හිතන්නෙ ඒ කාර් එකේ වටිනාකම රුපියල් ලක්ෂ 15 ක් විතර ඇති. ඇත්ත ද බොරු ද මන්දා, සමහරු කියන්නෙ ඔය කාර් එක ජැකලයින්ට අධ්‍යක්ෂ සුජෝයි තෑගි දීපු එකක් කියලයි!”

මේ කතාවල ඇත්ත නැත්ත සහසුද්දෙන් ම දැනගන්න ඕනෙ නිසා මාධ්‍යවේදියා ජැකලයින්ටත් කතා කළා.

ඇය ඉතාම කැමැත්තෙන් ඔහු සමඟ කතා කළා. “මුලින් ම කියන්න ඕනෙ, ඔය ‘හොන්ඩා සිවික්’ කාර් එක මට සුජෝයිගෙන් තෑගි ලැබුණු එකක් නෙමෙයි කියලා. එහෙම තෑග්ගක් මට ලැබුණේ නැහැ. ඒක අමූලික බොරුවක්.

මිනිස්සුන්ට ඕනෙ ඕනෙ හැටියට කටකතා හදන්න පුළුවන්. මේකත් ඒ වගේ කට කතාවක් විතරයි. අයිස් ක්‍රීම් කතාවෙ නම් ඇත්තක් තියෙනවා.

හැබැයි එදා මාත් එක්ක හිටියෙ සුජෝයි විතරක් නෙමෙයි. රිටීෂුත් (රිටීෂ් දේශ්මුඛ්) එතන හිටියා. අපි තුන්දෙනාම අයිස් ක්‍රීම් කෑවා. ඉතින් ඒකෙ ඇති වැරැද්ද මොකද්ද?” ජැකලයින් පෙරළා ප්‍රශ්න කළා.

ඉන්පසුව ‘ඇලඩින්’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ සුජෝයි සෝෂ් ද මේ ගැන කතා කළ බවයි දැනගන්නට ලැබුණේ. “ජැකලයින් මගේ හොඳ යෙහෙළියක්. අපි සමහර වෙලාවට විනෝද ගමන් එහෙමත් යනවා. හැබැයි ඒ යන්නෙ තවත් යාළුවො ගොඩක් එක්කයි.

මේ ළඟදීත් අපි තරු පහේ හෝටලයක තිබුණු ‘ඇලඩින්’ චිත්‍රපටයේ ප්‍රචාරක වැඩසටහනකට සහභාගි වුණා. එහෙම ගමන් බිමන් ගියා ය කියලා අපි අතරෙ ඊට වඩා වෙනස් සම්බන්ධකමක් නැහැ” සුජෝයි තරයේ ම කියා සිටියා.

සුජෝයි ළඟදීම තවත් චිත්‍රපට 3 ක් ම අධ්‍යක්ෂණය කරන්නට සූදානම් වෙමින් සිටිනවා. මේ සියලුම චිත්‍රපටවල ප්‍රධාන නිළිය හැටියට රඟපාන්න තෝරා ගෙන ඇත්තේ ජැකලයින්වයි.

ඒ වෙනුවෙන්වූ ගිවිසුම් වලට මේ වනවිට අත්සන් තබා ඇති බවයි ඇය පවසන්නේ. කොහොම වෙතත් ඒ චිත්‍රපටවල තොරතුරු තවම හෙළි කළ නොහැකි බවත් ඇය කියා සිටියා.

0 comments:

Post a Comment