Sunday, November 1, 2009

Tagged Under:

අම්ම කෙනෙක් වෙන්න මම තාම පොඩි වැඩියි

By: Last Man On: 2:27 PM

නෙහාරා පීරිස්

නෙහාරා පීරිස් යන නමින් ඇය ඔබට හඳුන්වා දෙනවාට වඩා ‘මුතු කිරිල්ලී’ ටෙලිනාට්‍යයේ මුතු හෙවත් සමාධි ලෙසින් ඔබට ඇය හඳුන්වා දෙතොත් ඔබ නිසැක වශයෙන්ම ඇය හඳුනා ගනීවි.

‘මුතු කිරිල්ලී’ ටෙලිනාට්‍යයේ අනූපමට පෙම් බඳින මේ හුරුබුහුටි සොඳුරු මියුලැසිය ටෙලිනාට්‍ය නිළියක ලෙසින් පමණක් නොව රූපවාහිනී නිවේදිකාවක, නර්තන ශිල්පිනියක මෙන්ම ගායිකාවක ලෙස ද මේ වන විට ඔබේ හදවතට සමීප වෙමින් සිටිනවා. මෑතකදී යුගදිවියට ද පිවිසුණු ඇගේ අලුත්ම වතගොත විමසන්නට මං පසුගිය දිනෙක ඇගේ සොඳුරු නිවහනට ගොඩ වැදුණා.

ඉතින් නෙහාරා, මේ දවස්වල මොනවද ඔබේ අලුත්ම තොරතුරු?

මේ දවස්වල මං දෙරණ රූපවාහිනියේ විකාශය වන ‘ටී පාටි’ වැඩසටහනේ නිවේදිකාව ලෙස කටයුතු කරනවා. ඊට අමතරව පසුගිය දිනවල රෝයි ද සිල්වාගේ ‘ඉට්ස් අ මැටර් ඔෆ් ලව්’ චිත්‍රපටියේ සහ සනත් අබේසේකරගේ ‘ආදර රිද්ම’ ටෙලිනාට්‍යයේ රඟපෑවා. රංගනයට අමතරව මං මේ වන විට ගායන ක්ෂේත්‍රයටත් සම්බන්ධ වී සිටිනවා.

මේ දිනවල නිලාර් එම්. කාසිම්ගේ පද රචනයක් අනුව රාජ් කුමාර් සංගීතය සපයන ගීතයක් මං රොෂාන් රණවන සමඟ ගායනා කරනවා. මීට කලින් චන්දන කුරේ ගේ පද රචනයකට අනුව බිලී ප්‍රනාන්දු සංගීතවත් කළ ගීතයක් හා ජිප්සීස් සුනිල් ගේ පුත් ගයාන් පෙරේරා සංගීතවත් කළ ගීතයකුත් මං ගායනා කළා.

හැබැයි ඔබ මේ දිනවල වඩාත්ම ජනපි‍්‍රය ‘මුතු කිරිල්ලී’ ටෙලිනාට්‍යයෙන්නෙ.

ඇත්තටම ඔව්. මම ‘මුතු කිරිල්ලී’ ටෙලිනාට්‍යයෙන් ගොඩාක් ජනපි‍්‍රය වුණා. පාරකදි දැක්කත් හැමෝම මට කථා කරන්නෙ සමාධි කියලා. ඒ තරමට ටෙලිනාට්‍යය බලන හැමෝම සමාධිට ආදරය කරනවා. මටත් සමාධිගේ චරිතය සුවිශේෂයි. එයින් මාව හුඟාක් පේ‍්‍රක්ෂකයන් අතරට ගියා.

ඒ වාගේම මට ඒ චරිතය කරද්දී දක්ෂ, ජනපි‍්‍රය, ප්‍රවීණ නළු නිළියන් රැසක් සමඟම රඟපාන්න ලැබුණා. ඒක හරි අපූරු අත්දැකීමක්. විශේෂයෙන්ම එච්. ඒ. පෙරේරා අන්කල් සහ අයිරාංගනී සේරසිංහ ආන්ටි ගැන යමක් සඳහන් කරන්නම ඕනෑ.

ඒ දෙන්නා තමයි මගේ කැමැතිම නළු නිළි යුවළ. එයාල වගේ ප්‍රවීණයන්ගෙන් මං වගේ නව පරපුරේ නිළියකට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. සමහරු මගෙන් හම්බ වුනහම අහන්නෙ මගෙයි අනූපමගෙයි ආදරයට ටෙලිනාට්‍යය අවසානයේ මොකද වෙන්නෙ කියලා.

මං ඒ ගොල්ලන්ට කියන්නෙ දිගටම ටෙලිනාට්‍යය බලන්න. එතකොට එයාලට සිදුවන දේ රසවත්ව දැකබලා ගන්න පුළුවන් වේවි කියලා.

ඔබේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු ගැනත් යමක් කිව්වොත්?

මම ඉගෙන ගත්තෙ වැල්ලවත්ත සාන්ත ලෝරන්ස් විද්‍යාලයේ. අපේ පවුලේ ඉන්නෙ අම්මයි ඩැඩයි, මල්ලියි මමයි. මල්ලි තවම අධ්‍යාපන කටයුතුවල නිරත වෙනවා. මම මෑතකදී විවාහ වුණා. අපි දෙන්නා මුණ ගැසුණේ සාන්ත ජෝශප් දේවස්ථානයේදී.

එහි තරුණ සංවිධානයේදී මුණ ගැහිලා, දැන හඳුනාගෙන වසර ගණනාවක සිට තිබුණු පේ‍්‍රමයක ප්‍රතිඵලයක් වශයෙන් අපි විවාහ වුණේ. එයා හරිම හොඳ කෙනෙක්.

ඔහු තමයි මාව හැම විටම දිරිමත් කරමින් මගේ කලා කටයුතුවලට විශාල සහයෝගයක් ලබා දෙන්නේ. එයා දැනට පරිගණක තාක්ෂණය පිළිබඳ ව්‍යාපාරයක් කරගෙන යනවා.

ඔබ වඩාත්ම කැමැති රංගනයට ද? නැතිනම් නර්තනය, ගායනය හා නිවේදන කටයුතුවලට ද?

මම වඩාත්ම කැමැති රංගනයටයි. මුලින්ම කලා ක්ෂේත්‍රයට පිවිසුණෙත් ටෙලිනාට්‍ය නිළියක ලෙසයි. ඒ නාලන් මෙන්ඩිස් ගේ ‘සෙනෙහසට ආදරෙයි’ ටෙලි නාට්‍යයේ රශ්මි ගේ චරිතයෙන් සහ රවින්ද්‍ර විජයරත්නගේ ‘ජීවිතය ලස්සනයි’ ටෙලි නාට්‍යයේ නෙත්මි ගේ චරිතය රඟපාමින්.

එතැනින් පස්සෙ තමයි මට සිරස රූපවාහිනියේ ‘මැජික් බොක්ස්’ වැඩ සටහනේ නිවේදිකාව ලෙස හා ‘සිරස ඩාන්සින් ස්ටාර්’ වැඩ සටහනේ නර්තන ශිල්පිනියක ලෙසින් ඉතා ජනපි‍්‍රයත්වයක් ලබාගන්නට හැකිවුණේ.

ඇත්තටම මේවාත් මගේ කලා ජීවිතයේ සොඳුරු මතක සටහන් හැටියට මං සලකනවා.

ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවද?

එහෙම විශාල බලාපොරොත්තු නම් මට නැහැ. මම සාමාන්‍යයෙන් ලද දෙයින් සතුටු වන කෙනෙක් ඉදිරියේදීත් සුපුරුදු විදියට රඟපෑම් කටයුතුවල නිරත වෙන ගමන් මට හැකියාව ඇති අනෙකුත් අංශවලිනුත් යමක් කිරීමට බලාපොරොත්තු වෙනවා.

එතකොට පෞද්ගලික ජීවිතයේ පෙම්වතියක, බිරිඳක වූ ඔබ මවක වන දිනයත් වැඩි ඈතක නොවේ ද?

අපෝ ඒ ගැන නම් මං තවම හිතලවත් නෑ. මං තවම පොඩියි නෙ. මට තවම අවුරුදු විස්සනෙ.

ඒක හින්දා මට හිතෙන්නෙ අම්මා කෙනෙක් වෙන්න මට තවම ඕනෑ තරම් කල් තියෙනව කියලා. ඒ නිසා ඒ ගැන තීරණය කරන්න මං අනාගතයට බාර කරනවා.

නෙහාරාගේ ලිපිනය

නො. 66, සාන්ත අන්තෝනි මාවත, කඩලාන, මොරටුව.

සටහන හා සේයාරූව
බර්නාඩ් ෂෝ පේ‍්‍රමසුන්දර- Silumina

0 comments:

Post a Comment