Tuesday, May 4, 2010

Tagged Under:

මේ හැම දේකටම මුල මගේ කටකාරකම

By: Last Man On: 5:18 AM

මේ හැම දේකටම මුල මගේ කටකාරකම
උත්පලා ගුණතිලක

ආදරණීය පූර්ණිමා හි සඳුනි. ඒ මේ දිනවල බොහෝ දෙනා ඇයව හඳුන්වන නාමයයි. දෙරණ රූපවාහිනිය ඔස්‌සේ විකාශය වන ආදරණීය පූර්ණිමා ටෙලිනාට්‍යයට ඇය සඳුනි වුවත් සාමාන්‍ය ජීවිතේදී නම් උත්පලා ගුණතිලකයි. නොසිතූ මොහොතක හඳුනාගත් හැකියාව මුවහත් කරගනිමින් පැහැබර රංගන රිද්මයක යෙදෙන උත්පලා සමඟ අද මීවිත කතාබහට එක්‌වෙමු.

සඳුනි කියන්නද? උත්පලා කියන්නද?

ඇත්තටම සඳුනි කියන චරිතයට තියෙන ප්‍රතිචාර ගැන කිව්වොත් කෙනෙක්‌ මාව තාම උත්පලා කියන නමින් දන්නේ නැහැ. ඒ නිසා මට අද ජනප්‍රියත්වයක්‌ ලැබෙන්නේ ආදරණීය පූර්ණිමාගෙ නංගි සඳුනි නිසා. ඒ අතින් ගත්තහම සඳුනි කිව්වත් කමක්‌ නැහැ.

මේ තැනට එන්න මග විවර වුණේ කොහොමද?

ඇත්තටම කලාවට එන්න නම් කිසිම බලාපොරොත්තුවක්‌ තිබුණේ නැහැ. මගෙ ලොකු අම්මගෙ දුව තමයි මම නොදැනුවත්වම සිරස කුමරිය තරගෙට මගෙ අයදුම් පත්‍රයක්‌ යොමුකරලා තිබුණේ. ඒ තරගෙන් මාව ඡවි කල්‍යාණි හැටියට තේරුණා. ඊට පස්‌සේ සිරසෙන්ම නිෂ්පාදනය කරපු "පතිනි" ටෙලිනාට්‍යයට මාව තෝරගත්තට පස්‌සේ තමයි කලාවට මම ඇතුළු වුණේ.


ඒ වෙනකොට අනාගතේ ගැන තිබුණේ මොන වගේ සිහිනයක්‌ද?

මගේ ගම කුරුවිට, ගෝනපිටිය. පාසල් ගියේ කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයට. එහිදී සාමාන්‍ය පෙළ දක්‌වා නර්තනය විෂයක්‌ විදිහට හැදෑරුවා. ඒකේ අරමුණ වුණේ කවදහරි නර්තන ගුරුවරියක්‌ වීම.

අද ඒ බලාපොරොත්තුව නැද්ද?

පතිනි ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණාට පස්‌සේ ඉඳලා මම පාසලෙන් ඉවත් වුණා. 2011 අවුරුද්දේ උසස්‌ පෙළ විභාගය ලියන්න සූදානම් වෙනවා කලා අංශයෙන්. එහිදී නර්තනයත් මම හදාරන එක විෂයක්‌. උසස්‌ පෙළින් පස්‌සේ ඉදිරියටත් නර්තනය හදාරනවද කියලා තාම තීරණය කරලා නැහැ.

කලා අංශයට යොමුවීම ගැන අද මොකද හිතෙන්නේ?

ගොඩක්‌ සතුටුයි මේ අංශයට යොමුවීම ගැන. මොකද මමවත් දැනගෙන හිටියෙ නැති දක්‍ෂතාවක්‌ මේ හරහා මට එළිදක්‌වන්න පුළුවන් වුණා.

කැමරාවක්‌ ඉදිරියේ මුල්ම රංගනය ඉදිරිපත් කරද්දී දැනුණු හැඟීම?

පාසලේදිවත් විහිළුවට චරිතයක්‌ රඟනොපාපු මට කැමරාවක්‌ ඉස්‌සරහට ගියාම පුංචි චකිතයක්‌ දැණුනා. සුසාර දිනාල් මහත්මා තමයි ඔයාට මේක කරන්න පුළුවන් කොහොමහරි රඟපාන්න කියලා මාව දිරිමත් කළේ.

මේ වෙනකොට නිර්මාණ කීයකට සම්බන්ධ වෙලා තියෙනවද?

ආදරණීය පූර්ණිමා, පතිනි, හංසි කියන තුනට තමයි ටෙලිනාට්‍යවලින් සම්බන්ධ වුණේ. ප්‍රසාද් ද සිල්වා අධ්‍යක්‍ෂණය කරපු වියපත් බඹරා චිත්‍රපටයටත් ප්‍රධාන චරිතයෙන් පසුගිය කාලේ සම්බන්ධ වුණා.

මේ නිර්මාණවල චරිත අතරින් සඳුනි ගැන කතා නොකරම බැහැ නේද?

ඇත්තටම ඔව්. මේ චරිතයට මාව තෝරගත්තේ නිශාන්ත රණසිංහ මහත්මායි. ටිකිරි රත්නායක මහත්මායි. මේ වෙනකොට ගොඩක්‌ දෙනා අතර ජනප්‍රිය වෙලා තියෙනවා. චරිතයක්‌ හැටියට ගත්තොත් මම හිතනවා හොඳ සාධාරණයක්‌ ඉෂ්ඨ කළා කියලා.

මෙගා ටෙලිනාට්‍ය තුනකම රඟපාන්න ලැබුණ නිසා නවක රංගන ශිල්පිනියන් අතර තරමක්‌ කැපී පෙනෙන චරිතයක්‌ වෙන්න ඔබට හැකිවුණා කිව්වොත්?

ගොඩක්‌ දුරට ඒකට හේතු වුණේ මට ලැබුණු චරිත කියලයි මට සිතෙන්නේ. මොකද සඳුනි කියන චරිතය ඇත්තටම මගේ සාමාන්‍ය ජීවිතේට ගොඩක්‌ම සමීපයි. හරිම කටකාර, අසාධාරණයට එරෙහිව වැඩිපුර කතා කරන චරිතයක්‌. ඒ වගේමයි ඉදිරියේදී තිරගත වෙන්න තියෙන වියපත් බඹරා චිත්‍රපටයේ ඩීනා කියන චරිතයක්‌. සාමාන්‍ය ජීවිතේ එක්‌කත් ගැලපීමක්‌ තිබුණ නිසා මේ චරිත සාර්ථක කරගන්න මට පුළුවන් වෙන්න ඇති කියලා විශ්වාස කරනවා.

ඒ කටකාරකම නිසාමද වැඩසටහන් ඉදිරිපත් කරන්නියක්‌ වෙන්න අවස්‌ථාව ලැබුණේ?

හිතනවා එහෙම වෙන්න ඇති කියලා. ගොඩක්‌ අය මගෙ මූණටත් කියලා තියෙනවා මම කටකාර අසාධාරණය වෙනුවෙන් නැගී සිටින කෙනෙක්‌ කියලා. හංසි ටෙලිනාට්‍යය විකාශය වෙන කාලෙදි තමයි ස්‌වර්ණවාහිනියේ රසලිය වැඩසටහනේ නිවේදිකාවක්‌ හැටියට මට ආරාධනා ලැබුණේ. එතැන් පටන් වසර එකහමාරක ඉඳලා මම ඒ වැඩසටහන ඉදිරිපත් කරගෙන එනවා.

වැඩසටහනක්‌ ඉදිරිපත් කරනවා කියන්නේ ඔබ සිතන විදිහට හරිම පහසු දෙයක්‌ද?

රංගනය වගේම නිවේදනයත් මම කවදාවත් පුරුදු පුහුණු වුණු විෂයන් නෙමෙයි. මුලිනුත් කිව්වා වගේ මගෙ කටකාරකම නිසාද මන්දා වැඩසටන කරද්දි වචන ගලාගෙන එනවා. පුළුවන් උපරිමයෙන් මට පැවරිලා තියෙන වැඩ කොටස මම කරනවා.

ප්‍රවීණයන්ගෙන් ඔබට ලැබෙන සහය මොන වගේද සහ ඔබ ප්‍රවීණයන්ට දක්‌වන ගරුත්වය මොන විදියද?

ඇත්තටම අපට රංගනය ගැන බොහෝ දේ ඉගෙන ගන්න තියෙන්නෙ අපේ ප්‍රවීණයන්ගෙන්. සමහරු කියනවා ආධුනිකයන්ට ප්‍රවීණයන්ගෙන් සහයෝගයක්‌ නැහැ කියලා. මම නම් ඒක විශ්වාස කරන්නේ නැහැ. මොකද මේ වෙනකම් ඔවුන්ගෙන් ලැබුණු සහයෝගය මට අතිවිශාලයි. ඒ වගේම අනිවාර්යෙන්ම මුළු හදවතින්ම මම ඔවුන්ට ගරු කරනවා.

ඉදිරියටත් කලා ක්‍ෂේත්‍රයේ මේ අයුරින්ම ගමන් කිරීමට ද බලාපොරොත්තුව?

තව අවුරුදු දෙකකින් විවාහ වෙන්න තමයි බලාපොරොත්තුව. ඊට පස්‌සේ නම් ක්‍ෂේත්‍රයෙන් අයින් වෙන්න තමයි මම අදහස්‌ කරලා තියෙන්නේ.

ඒකට හේතුව?

මම හිතනවා පවුල් ජීවිතයට මුල්තැන දිය යුතුයි කියලා. කොහොමත් කෙනකුගේ යටතේ වැඩ කරන්න මම කැමැති නැහැ. මගේම කියලා ව්‍යාපාරයක්‌ ආරම්භ කරන්න අදහසක්‌ තියෙනවා. සමහර විට ඉදිරියේ මහත්තයාගෙ සහයත් ඇතුව ඒ අංශයට යොමුවෙයි.

ඒ කියන්නේ දැන් ඔබ විවාහයට සූදානම්ද?

ඔව්, එයාගේ නම සුරේෂ්. කලාවට සම්බන්ධයි. හැබැයි රංගනයෙන් නෙමෙයි.

ඔබ කලා ක්‍ෂේත්‍රය තෝරාගැනීම ගැන දෙමාපියන්ගෙන් ලැබුණු කැමැත්ත මොන වගේද?

මුලදි නම් තාත්තගෙ වැඩි කැමැත්තක්‌ තිබුණේ නැහැ. නමුත් අම්මගෙ සිහිනයක්‌ තිබුණා මාව කලාවට යොමු කරන්න. අම්මයි ලොකු අම්මගෙ දුවයි නිසා තමයි මම අද මෙතන ඉන්නේ. මට තව අයියා කෙනෙකුයි මල්ලියෙකුයි ඉන්නවා.

ඉදිරි වසර දෙක තුළදී සැබෑ කරගන්න බලාපොරොත්තු වෙන සිහිනයක්‌ තියෙනවද?

හොඳ වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙන්න ආසාවක්‌ තිබෙනවා කලාවෙන් ඉවත් වෙන්න කලින්. පසුගිය කාලේ ඒ සඳහා අවස්‌ථාවන් කිහිපයක්‌ම ලැබුණත් ආදරණීය පූර්ණිමා නිසා ඒ එකකටවත් සම්බන්ධ වෙන්න ලැබුණේ නැහැ.

ඔබ වඩාත් ගරු කරන්නෙ?

මුලින්ම මවුපියන්ට. කලා ලෝකයට යන පාර පෙන්වලා දුන්න ටිකිරි රත්නායක, නිශාන්ත රණසිංහ මහත්වරුන්වත්, රුචිරා අක්‌කාවත් විශේෂයෙන් මතක්‌ කරන්න කැමැතියි.

ලක්‌මිණී අතුකෝරල
ඡායා - සුජාතා ජයරත්න
හැඩගැන්වීම - සැලෝන් රුචිරා

0 comments:

Post a Comment