Thursday, June 3, 2010

Tagged Under:

එය සැඟවිය යුතු දෙයකුත් නෙමෙයි...

By: Last Man On: 5:52 AM

May 23, 2010

එය සැඟවිය යුතු දෙයකුත් නෙමෙයි...

(නව පරපුරේ ජනප්‍රිය නිළි ජනප්‍රිය නිළි"නෙහාරා පීරිස්"මෙවර ආලින්දයෙන් ඔබ හමුවට පැමිණේ. මේ දිනවල පුංචි තිරයේ ටෙලි නාට්‍ය කිහිපයකින්ම ඔබ හමුවට පැමිණෙන ඇය වඩාත් ජනප්‍රියත්වයට පත්වූයේ"මුතු කිරිල්ලී"ටෙලි නාට්‍ය තුළිනි. දෙවරක්ම ජනප්‍රිය නිළියට හිමි සම්මානය ද දිනාගත් නෙහාරා පීරිස් සිය රංගනය, නර්තනය මෙන්ම නිවේදන හැකියාව තුළින් තරුණ පරපුරේ වැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනාගෙන තිබේ.)



*ඔබ දැන් කාර්යබහුල නිළියක්. කෙටි කලකින් ලැබූ විශාල ජනප්‍රියත්වය ගැන මොකද හිතෙන්නේ?

හැමදාමත් කියනවා වගේ කියන්න බැරි සතුටක් හැම මොහොතකම දැනෙනවා. මම ක්ෂේත්‍රයට ඇවිත් මේ ජූලි මාසෙට අවුරුදු 03ක් විතර වෙනවා. ඒ කෙටි කාලය තුළ මම අත්දැකපු දේ බොහොමයි. ඉතින් ඒ ගැන ලොකු සතුටක් වගේම නිහතමානී ආඩම්බරයකුත් තියෙනවා.

*ඔබ කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වුණේ කොහොමද?

මම 2006 දි විතර රූපවාහිනී වෙළඳ දැන්වීම් වලට සම්බන්ධ වුණා. 2007 ජූලි මාසයේ විතර සන්ධ්‍යා මෙන්ඩිස් මහත්මිය මට"සෙනෙහසට ආදරෙයි"ටෙලි නාට්‍යයට ආරාධනා කළා. මම කැමති වුණේ නෑ. මගේ ගෙදරින් කැමති වුණේ නෑ මම මේ ක්ෂේත්‍රයට එනවට. ඒත් පස්සේ මගේ තාත්තාගේ අවසරය ලැබුණා. First & the Last කියලා පටන්ගත්තා. තවම Last 1 නම් ඇවිත් නෑ. ඒ විදිහටයි මම මේ ක්ෂේත්‍රයට ආවේ.

* මේ දවස් වල වැඩ කටයුතු?

මේ දවස් වල දීර්ඝ ටෙලි නාට්‍ය 2කට මම රංගනයෙන් දායක වෙලා තියෙනවා."අමන්දා"සහ"රුවන් මාළිගා". ඒ වගේම සුපුරුදු විදිහට දෙරණ"ටී පාටිය"වැඩ සටහනේ නිවේදන කටයුතු කරනවා. ඒ විදියට තමයි මේ දවස් වල වැඩ කටයුතු වෙන්නේ.

*ඔබ ක්ෂේත්‍රයට පිවිස කෙටි කලකින් ඔබේ විවාහයත් සිදුවුණා. එය ඔබේ ඉදිරි ගමනට බලපෑවේ කොහොමද?

මම විවාහ වෙලා මේ අවුරුද්දට වසර දෙකක් වෙනවා. සමහරු කියනවා විවාහ වුණාට පස්සේ ජනප්‍රියත්වය අඩුවෙනවා, ආදරය කරන රසික පිරිස අඩුවෙනවා කියලා. නමුත් මම ලබපු සම්මාන 03 ම මට ලැබුණේ විවාහයෙන් පස්සේ. ජනප්‍රියම නිළිය කියන සම්මානය ඇතුළුව. එයම එක් සාක්ෂියක් ජනප්‍රියත්වය අඩුවෙලා නෑ කියන්න. මම හිතන්නේ විවාහය මගේ අනාගතයට බලපෑමක් වුණේ නෑ. එය සැඟවිය යුතු දෙයකුත් නෙමෙයි. මම හිතන්නේ කලාකරුවන් විදිහට අපි විවෘත වන තරමටයි ජනතාව අපව පිළිගන්නේ. අපි පොළවේ පය ගහලා ජීවත්විය යුතුයි. ඇත්තට මුහුණ දිය යුතුයි. මම හිතන්නේ විවාහය මගේ ඉදිරි ගමනට බලපෑමක් වෙලා නෑ.

*ඔබේ ආදර කතාව ගැන මතකය අවදි කළොත්?

නිර්මාල් මට හමුවුණේ පල්ලියේදී. අවුරුදු 04ක් විතර අපි හුඟක් හොද යාළුවෝ වගේ ඇසුරු කළා. ඊටපස්සේ නිර්මාල් මගෙන් ආදරය ගැන ඇහුවා. මම ඔහුට කැමැත්ත දුන්නා. ඒ විදිහට අපි ආදරය කරන්න පටන්ගත්තා.

* ජනප්‍රිය පුද්ගලයෙකුට පෞද්ගලික ජීවිතයක් පවත්වාගෙන යාම අපහසුයි කියන මතයට ඔබ එකඟද?

නැහැ, ඇත්තටම විවාහවුණාට පස්සෙත් මමයි නිර්මාලුයි හුඟක් සැහැල්ලුවෙන් ජීවත්වෙන්නේ. මම නිර්මාල්ට නීති දාලත් නෑ. නිර්මාල් මට නීති දාලත් නෑ. අපි මේ ලෝකෙට ආවා වගේම කවදාහරි අපි මේ ලෝකේ දාලා යනවා. ඒ ජීවත්වන කාලය තුළ අපි හොඳ, නිවැරදි දේ කළ යුතුයි. අපි ජීවිතය විඳිය යුතුයි. විවාහය තුළ වගකීම්, යුතුකම් තිබෙනවා. අපි කාලය නිවැරදි ලෙස හසුරුවාගෙන අපේ ක්ෂේත්‍රය වගේම පෞද්ගලික ජීවිතයත් සමබරව හසුරුවා ගැනීමේ හැකියාව අපට තිබිය යුතුයි.

*ඔබ දායක වූ නිර්මාණ වලදී ඔබට ගැළපෙනම චරිත ලැබුණා කියලා ඔබ හිතනවද?

ඔව්, එහෙම හිතෙනවා."මුතු කිරිල්ලී"ටෙලි නාට්‍යයේ මට ලැබුණු චරිතයත් මගේ සැබෑ ජීවිතයට සමානයි. නමුත් මේ දිනවල විකාශය වන"රුවන් මාළිගා"ටෙලි නාට්‍යයේ"මහීමා"කියන චරිතයට මම හුඟක් කැමතියි. ම‍ට මෙතෙක් ලැබුණේ මට ගැළපෙන චරිත. මගේ පෞද්ගලික ජීවිතය හා සමාන චරිත මට ලැබුණා. ඊට වඩා වෙනස් චරිතයක් කරන්නත් මම කැමතියි.

*තරුණ කලා ශිල්පිණියන් වැඩි ජනප්‍රියත්වයක්, ආකර්ෂණයක් ලබන්නේ තරුණියන් අතරෙයි. ඔබට ලැබූ එවැනි අත්දැකීම්?

මම ඇත්තටම හිතාගෙන හිටියේ මට ගොඩක්ම කැමති පුංචි ළමයි කියලයි. ඒ වගේම මට හුඟක් පොඩි අය කැමතියි. නමුත් මේ මෑතකදී මට කිහිපදෙනෙක්ම කිව්වා නෙහාරා අපේ පැත්තේ පිරිමි ළමයි ඔයාට ගොඩක් කැමතියි කියලා. ඉතින් මට හිතුණා තරුණයිනුත් මට කැමතියි කියලා. මට දවසකට ලියුම් 30 ක් විතර එනවා. ඒ ලියුම් වලින් බාගයක්ම වගේ ලැබෙන්නේ තරුණියන්ගෙන්. දුරකථන ඇමතුම් පවා ලැබෙන්නේ තරුණියන්ගෙන් හා පුංචි ළමයින්ගෙන්. ඒ හින්දයි මම හිතාගෙන හිටියේ මට හුඟක්ම කැමති කුඩා ළමුන් හා තරුණියන් කියලා. ඒත් දැන් හිතෙනවා තරුණයිනුත් මට කැමතියි.

* කලා කටයුතු වලට සැමියාගෙන් ලැබෙන සහයෝගය?

ඇත්තටම එයා නැත්නම් මම අද මෙතන නැහැ. මම දන්නේ කැමරාවක් ඉස්සරහ රඟපාන්න, නටන්න, සිංදු කියන්න නැත්නම් නිවේදනය කරන්න විතරයි. නමුත් නිර්මාල් නිතරම අන්තර්ජාලය හරහා කලාව කළමනාකරණය කිරීම පිළිබඳව අධ්‍යනය කරනවා. ජාත්‍යන්තර කලාකරුවන් පිළිබඳව අධ්‍යනය කරනවා. කලාකරුවෙක් විදිහට මට වටිනාකමක් ලබාදෙන්න ඔහු නිතරම උත්සාහ කරනවා. ඔහුගෙ උපරිම සහය මට ලැබෙනවා. නිතරම ඔහු මාව ධෛර්යයමත් කරනවා.

* ලංකාවේ තරුණ කලා ශිල්පිණියන්ට විලාසිතා සම්බන්ධයෙන් එල්ලවන චෝදනා ගැන ඔබේ අදහස?

විවිධ පුද්ගලයින් විවිධ අවස්ථාවන්ට උචිත විදිහට ඇඳුම් විලාසිතා තෝරා ගන්නවා. උදාහරණයක් විදිහට අපි පිහිනුම් ඇඳුමකින් සැරසෙන්නේ නැතුව පිහිනුම් තටාකයකට බහින්න බැහැ. මම හිතන්නේ ප්‍රේක්ෂකයින් ඒ ගැන පුළුල් විදිහට කල්පනා කළ යුතුයි. හැමදෙයක්ම දියුණුවිය යුතුයි. මම වරදක් කියන්නේ නෑ. නමුත් අපි වටහාගත යුතුයි මේ මේ අවස්ථාව සඳහා මේ මේ විදිහට ඇඳිය යුතුයි කියලා. තරුණ අය විදිහට අපි දැනගත යුතුයි තැනට ඔබින විදිහට අඳින්න. ඒ ව‍ගේම ප්‍රේකෂකයිනුත් පුළුල් විදිහට කල්පනා කළ යුතුයි.

* ඔබේ කාර්යබහුල ජීවිතය පෞද්ගලික ජීවිතයට බලපාන්නේ කොහොමද?

පෞද්ගලික ජීවිතයේ මට ලොකු වැඩක් නෑ. නිර්මාලුත් හුඟක් කාර්යබහුල කෙනෙක්. අපි දෙන්නා සහයෝගෙන් අපේ වැඩකටයුතු කරගෙන යනවා.

*ඔබ යම් නිර්මාණයක් තෝරාගැනීමේදී සලකා බලන කරුණු?

අධ්‍යක්ෂවරයා, තිර පිටපත, මොන වගේ නිර්මාණයක්ද?, මොන වගේ චරිතයක්ද? ඒ වගේම මට ඉදිරිපත් කරන්න යමක් තියෙනවද? කියන කරුණු ගැන මම සලකා බලනවා. මම කැමතියි මිනිස්සු අතරේ කතාබහට ලක්වන චරිත වලට. ඒ වගේම ඒ නිර්මාණයට දායක වන නළු නිළියන් ගැනත් මම සැලකිලිමත් වෙනවා. ඇතැම් නළු නිළියන් ඉන්නවා එකට වැඩ කරන්න අපහසු. කිසිම මිත්‍රශීලීත්වයක් නැතුව වැඩ කරන්න මම කැමති නෑ.

තනි වචනයෙන් පමණක් පිළිතුරු ලබාදෙන්න

* රංගන ශිල්පිණියකට වඩා වැදගත් රූපයද? රංගන හැකියාවද?

රංගන හැකියාව

*ඔබ ජ්‍යෙතිෂය විශ්වාස කරනවද?

ඔව්

* ඔබ බොහෝ කාලයක් බලාපොරොත්තුවෙන් සිටි සම්මානයක් ඔබට ලැබෙන දිනම, එම අවස්ථාවේම ඔබේ ඉතා සමීප මිතුරෙකුගේ අවමංගල අවස්ථාවක් යෙදෙනවා. ඉන් ඔබ තෝරාගන්නේ කුමන අවස්ථාවද?

අවමංගල්‍ය අවස්ථාව

*දේශපාලනයට සම්බන්ධවීමට අවස්ථාවක් ලැබුනොත් බාරගන්නවද?

නැහැ

*ඔබ රාත්‍රියක ඉතා වැදගත් උත්සව අවස්ථාවකට සහභාගි වනවා. අතරමගදී ඉතා මහළු යුවලක් ඔබේ රථය නවතා රෝහල වෙල යාමට උපකාරයක් ඉල්ලනවා. ඔබ තෝරාගන්නේ උත්සවයද ඔවුන්ට උපකාර කිරීමද?

උපකාරය කරනවා

*මහළු, ඉතා විරූපී කාන්තාවකගේ චරිතයක් රඟපෑමට ලැබුණොත් එය බාරගන්නවද?

ඔව්

0 comments:

Post a Comment