Saturday, August 15, 2009

Tagged Under:

නව සක්විතියෙක් සොයාගනී

By: Last Man On: 1:24 AM
දෙස් විදෙස් කිහිපයක විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු සහ කෝටිපති මැණික් ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටිමින් රු. ලක්ෂ 500 ක පමණ මුදලක් වංචා කළ අයකු අති සුඛෝපභෝගී නිවෙසක භූගත කාමරයක සැඟවී සිටියදී නාවලපිටිය පොලිසිය මගින් පෙරේදා (13) අත්අඩංගුවට ගෙන ඇත.

උසස් සමාජ මට්ටමක ජීවත් වන පුද්ගලයකු ලෙස පෙන්වා මෙම පුද්ගලයා මුදල වංචා කර ඇත.

මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවලපිටිය සපුගස්ලන්ද ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවෙසක සැඟවී සිටියදීය.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව ගල්කිස්ස අධිකරණයේ පමණක් වරෙන්තු දහතුනක් තිබෙන බව සඳහන්වේ.

මෙයට අමතරව කොළඹ වංචා විමර්ශන ඒකකයට සහ රත්නපුර, කොහුවල පොලිස්ථානවලට ද මොහු අවශ්‍යවී තිබූ බවත් අනාවරණය වේ.

විවිධ පුද්ගලයන් හට විදේශ රැකියා හා මෙරට රැකියා ලබා දෙන බවට පොරොන්දු වී මෙම සැකකරු කෝටි ගණනක මුදලක් වංචා කැර ඇති බවත් මෙයට අමතරව වාහන ගනුදෙනු රැසක් සිදු කැර මූල්‍ය වංචා මෙන්ම වාහන හා දේපළ රැසක් සොරාගැනීමටද මොහු සම්බන්ධ වී ඇති බවත් පොලීසිය පවසයි.

සැකකරු හට කොළඹ බෞද්ධාලෝක මාවතේ අති නවීන නිවසක් හා නාවලපිටිය සපුගස්ලන්ද ප්‍රදේශයේ “මිලේනියම් සිටි” නමින් අති සුඛෝපභෝගී නිවෙසක්ද තිබෙන බව පොලිසිය තොරතුරු අනාවරණය කැරගෙන ඇති අතර නාවලපිටිය නිවසේ භූගත කාමරයක මොහු සැඟවී සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මූල්‍ය වංචා සිද්ධියක් සම්බන්ධයෙන් ශරීර ඇප මත සිටි මෙම සැකකරු නාවලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු තමාට පොලිස් ඇප ලබා දෙන ලෙස ඉල්ලා එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදය වික්‍රමසේකර මහතාට ලක්ෂ ගණනක මුදලක් ලබාදීමට තැත්කළද ස්ථානාධිපතිවරයා එය ප්‍රතික්ෂේප කැර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු එංගලන්තය ඇතුළු විදේශ රටවල් කිහිපයක් සමඟද සමීප සබඳතා පවත්වන බවට හෙළි වී ඇති අතර ඔහු නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 19 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න, නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර, පොලිස් අධිකාරි කේ. බී. මහගෙදර යන මහත්වරුන්ගේ උපදෙස් මත නාවලපිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදය වික්‍රමසේකර මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.- දිණමිණ

0 comments:

Post a Comment