Sunday, August 30, 2009

Tagged Under:

ප්‍රවේශම් වන්න! කාම වෙබ් අඩවියක ඔබේ රුවත්....

By: Last Man On: 9:23 AM
Beware from pornographic sites

තිරයේ දිගහැරෙන දර්ශනයෙහි සිටින්නේ නාඹර යුවතියකි. කිසිදු අපහසුතාවයකින් තොරව ඇය කැමරාව ඉදිරියේ විවිධ ඉරියව් පාන්නේ සළුපිළි කිසිවකුදු නැති ගතිනි. නොඑසේ නම් "නිරුවතිනි." ඉන් පසු එය ඡේදනය වන්නේ තරුණ ගැටයකු වෙතය. ඔහු තරුණියට පවසන දෑ පැහැදිලි නැත. ඊට පසු දර්ශනය ඡේදනය වන්නේ අතිශය ශෘංගාරාත්මක දසුන් පෙළකටය. එයට ශෘංගාරාත්මක යන වචනය ගැලපෙන්නේදැයි නිශ්චිත විග්‍රහයක්‌ නැත. කෙසේ වුවද ඒ දර්ශන පෙළ එතරම්ම "සැරය".

එහෙත් මෙහි පෙනී සිටින්නේ විදෙස්‌ රටක තරුණ යුවළක්‌ නොවේ. මේ රටේම ජීවත්වන යුවළකි. සමහර රටවල කාම චිත්‍රපට වල හෝ කෙටි කාලයකට සීමා වූ වීඩියෝ දර්ශනවල මෙවැනි දසුන් ඇති පදමට ඇතිමුත්, ආසියාකරයේ හා මෙරට තරුණ තරුණියන්ගේ ශෘංගාර දර්ශන ඇතුළත් දර්ශන වැඩිවීමේ ප්‍රවණතාවක්‌ පසුගිය කාලය පුරාම දකින්නට ලැබිණි. නවක නිළියන්ගේ හා නිරූපිකාවන්ගේ මෙන්ම බොහෝ තරුණ තරුණියන්ගේ "අසභ්‍ය" දර්ශන ඇතුළත් වීඩියෝ කඩ බුරුතු පිටින් පොලිස්‌ අත්අඩංගුවට පත්වීම්, පැමිණිලි ලැබීම් පසුගිය කාලය පුරාම දක්‌නට ලැබිණි. මේ සියල්ලෙන්ම දැන හෝ නොදැන වීඩියෝගත වූ තරුණියන් බොහෝමයකි.

කලකට ඉහත "අසභ්‍ය" දෑ අඩංගු යමක්‌ වී නම්, ඒ කටවහර "කුණුහරුප පත්තර" යෑයි කියන කොටස පමණි. ශිෂ්ට සම්පන්නව අසභ්‍ය සඟරා යෑයි කියන මේ පුවත්පත් මෙහෙයුම් කරන්නන් උසාවියට ඉදිරිපත් කර දඬුවම් පැමිණවීම සිදු කෙරිණි. එකල කොලුගැටයන් අතර ඉතා රහසිගතව මේ "සඟරා" හුවමාරු විණි. අසභ්‍ය දෑ රසවිඳීමට යෑයි යමක්‌ ඕනෑ වී නම් ඒ එය පමණි.

පසුකලෙක එය වීඩියෝ පට හා සංයුක්‌ත තැටි (CD) දක්‌වා වර්ධනය වූ අතර වර්තමානය වන විට එය "කාම වෙබ් අඩවි" දක්‌වා රූපාන්තරණය වී ඇත. එදවස හොර රහසේ අසභ්‍ය පුවත් සඟරා, වීඩියෝ හා සී. ඩී. තැටි නැරඹුවාට වඩා සීඝ්‍රයෙන් මෙම වෙබ් අඩවි නැරඹීමේ වර්ධනයක්‌ ඇති වී ඇති බව පිළිගත යුතුය. 90" දශකයේ අගභාගය වන විට මෙකී කාම වෙබ් අඩවි තුළ දකින්නට ලැබුණේ බටහිර රටවල නළු නිළියන් (ද?) ඉදිරිපත් කළ කාම දර්ශන පමණි. එහෙත් 2000 වර්ෂයෙන් පසු කෙමෙන් කෙමෙන් මෙරට කාන්තා හා පුරුෂ යුගල පෙනී සිටින කාම දර්ශන ඇතුළත් වෙබ් අඩවි බොහෝ සෙයින් දක්‌නට ලැබිණි. බොහෝ අය අතර "ලෝකල්" කෑලි" බැලීමේ උන්මාදයක්‌ පැතිර ගියේද එබැවිනි.

මිනිස්‌ මනස තුළ සහජයෙන්ම මෙවැනි දෑ දැක බලා ගැනීමේ ආශාවන් ගැබ්ව ඇති බව අපි පිළිගනිමු. එහෙත් මෙහි ඇති භයානක ප්‍රතිඵලය වන්නේ ශිෂ්ට බව හා සංස්‌කෘතිකමය වටිනාකම් උල්ලංඝනය කරමින් වෙබ් අඩවිවලට මුදාහැරෙන දර්ශනවල බුරුතු පිටින් මෙරට කාන්තාවන් හා පිරිමින් බොහෝ සෙයින් දක්‌නට ලැබීමය. එය එතරම් සුළුවෙන් තැකිය යුත්තක්‌ නොවේ.

බොහෝ විට මෙකී දේශීය වෙබ් අඩවි සඳහා පෙනී සිටින්නේ ඒ සඳහාම හොඳින් පුරුදු පුහුණු වූ පිරිසක්‌ බව පෙනේ. ගණිකා වෘත්තියේ යෙදෙන හෝ එවැනි චිත්‍රපට සඳහා පෙනී සිටින පිරිසක්‌ බොහෝ විට මෙකී දර්ශනයන්හි පෙනී සිටි නමුත්, භයානකම තත්ත්වය වන්නේ කැමැත්තකින් තොරව බලහත්කාරයෙන් රූගත කරවා වෙබ් අඩවිවලට එකී අසභ්‍ය දර්ශන මුදාහැරීමයි.

පසුගිය කාලයේ වාර්තා වූ විවිධ සිද්ධීන් ඇසුරින් ගත් කල මෙකී අසභ්‍ය දර්ශන රූගත කිරීම් හා වෙබ් අඩවි සඳහා මුදාහැරීම් කිහිප ආකාරයකින් සිදුවේ. ඒ, කැමැත්තෙන් පෙනී සිටින, පෙම්වතා විසින් රවටා රූගත කරන ලද, විශ්වාසය මත පෙනී සිටි නමුත් අවසානයේ එය වෙබ් අඩවියට මුදාහැරීම සහ බලහත්කාරයෙන් රූගත කිරීම ආදියයි.

කෙසේ හෝ බලහත්කාර රූගත කිරීමක්‌ වර්තමානයේ එතරම් දක්‌නට නැති අතර පෙම්වතිය රවටා රූගත කර වෙබ් අඩවි සඳහා මුදාහරින ලද දර්ශන වැඩිය. බොහෝ විට මෙවැන්නක්‌ අදාළ තැනැත්තිය දැනගන්නා විටත් එය ලක්‍ෂ සංඛ්‍යාත සංඛ්‍යාවක්‌ නරඹා අවසන් විය හැකිය. එතැන් පටන් ඇයගේ ජීවිතය වැටෙන්නේ අඳුරටය.

මෙහිදී කාන්තාවන් මුහුණපාන්නේ ඉතාම අසරණ තත්ත්වයන්ටය. අතිශය පෞද්ගලික තැන්වල සූක්‍ෂ්ම ලෙස කැමරා සඟවා රූගත කරන ලද දර්ශන, පෙම්වතුන්ගේ පෙම්වතියන්ගේ විවිධ ශෘංගාරාත්මක දර්ශන කැමරාෆොaන් (ජංගම දුරකථන කැමරා) මගින් රූගත කිරීම්, මේ ආදී වශයෙන් සමාජයේ විවිධ ස්‌ථානවලදී රූගත කරන වෙබ් අඩවි සඳහා මුදාහරින දර්ශන අපමණය. මේ මොහොත වන විට එවැනි වෙබ් අඩවි විශාල සංඛ්‍යාවක්‌ අන්තර්ජාලයේ හමුවේ.

මෙවැනි වෙබ් අඩවි නැරඹීමේ ප්‍රවණතාවයක්‌ නැතැයි කිසිවකු හෝ තර්ක කළ හැක. එහෙත් රට පුරා එක්‌ හන්දියකට දුසිම බැගින් ස්‌ථාපිතව ඇති "නෙට්‌ කැෆේ" (NET CAFE) තුළට වැද ඒවායේ කුටි වශයෙන් තනා ඇති "හුණ්‌ඩු කාමර" වලට වැදී අන්තර්ජාලයට පිවිසෙන දූ දරුවන් නරඹන්නේ කවරක්‌ද යන්න සොයා බලන්නෙකුට එහි සත්‍යතාවය වැටහෙනු නිසැකය. මෙහිදී මේ කාම වෙබ් අඩවිවලට පිවිසෙනු පිණිස අන්තර්ජාල පරිහරණය කරන්නේ තරුණ තරුණියන්ම පමණක්‌ යෑයි මත ගොඩනගා ගැනීම එතරම් සුදුසු නැත. ඊට වයස්‌ බේදයක්‌ නැත. අන්තර්ජාල තාක්‍ෂණයට පින් සිදු වන්න දැන් තොරතුරු ලබාගැනීම වේගවත්ය. එමෙන්ම පෞද්ගලිකයි - රහසිගතයි. තමන්ගේ ජංගම දුරකථනයට පවා වත්මනෙහි අන්තර්ජාල පහසුකම ලබාගැනීමේ හැකියාව පවතී. ජංගම දුරකථනයක්‌ පහසු මිලට ලබාගැනීමේ හැකියාව ද පවතින බැවින් ඊට කවර බාධාද?

එවැනි දියුණු තාක්‍ෂණයක්‌ පැරදවීමට උත්සාහ දැරීම කළ නොහැක්‌කකි. ලිංගිකත්වයට වැට බැඳීමේ වුවමනාවක්‌ ද මේ සටහන් කිරීම තුළ නැත. එසේ කළ හැකිවී නම් මීට වසර ගණනාවකට පෙර මෙවැනි වෙබ් අඩවි තිබෙන බවත්, බොහෝ අය එය නරඹන බවත් දැනගත් මොහොතේ එය අත්හිටුවීමේ හැකියාවක්‌ තිබිණි.

කෙසේ හෝ වෙබ් අඩවි තහනම් කිරීමේ හෝ තහංචි පැනවීමේ ක්‍රියාදාමයකට වඩා මේ මොහොතේ එකී වෙබ් අඩවි සඳහා අපේ තරුණ තරුණියන්ගේ රුව මුදාහැරීම වළක්‌වාලීමේ ක්‍රියාදාමයක්‌ අවශ්‍ය වේ. එහිදී, සමාජයීය වශයෙන් මෙකී අල-ජී ක්‍රියාවට වැට බැඳීමේ පෙරමුණ ගත යුත්තේ ද ඔබමය.

පෙම්වතියන් තමන්ගේ පෙම්වතාගේ අවිශ්වාස කටයුතු හැසිරීම දෙස සුපරීක්‍ෂාකාරී වීම වැදගත්ය. ඒ අනිසි හැසිරීම ඊළඟ තත්පරයේ සිට ඔබේ රුව අන්තර්ජාලයට මුසු කිරීම විය හැකිය.

"අපි බැඳලා හෝටලේට ගියාට පස්‌සේ වයිෆ් මුළු කාමරේම සර්ච් කළා. එයා කිව්වේ සමහර විට හෝටලේ කාමරවල කැමරා සෙට්‌ කරලා තියෙන්න පුළුවන් කියලා එයාගේ යාළුවෙක්‌ කිව්වා කියලයි."

මෑතදී විවාපත් වූ මිතුරකු එසේ පැවැසීය. යම් තරමකට හාස්‍ය උපදවන කාරණයක්‌ වුවද එහි බොහෝ දෑ සිතන්නට ඇත. ඒ අප ප්‍රවේශම් විය යුතු තරම පිළිබඳවයි.

එහෙත් බොහෝ විෂයයන් සඳහා "විශේෂඥයන්" සිටින අපට මෙකී වෙබ් අඩවි සොයා පවත්වාගෙන යන්නන්ට එරෙහිව කටයුතු කිරීමේ අවස්‌ථාවක්‌ ඇති බව විශ්වාස කරමු.

වෙබ් අඩවි තහනම් කිරීමට වඩා යහපත් වන්නේ එවැන්නකි. "තහනමක්‌" යනු කුතුහලයට වැඩි ඉඩක්‌ ලබාදීමයි. එවිට "කුතුහලය" ඇත්තවුන්ට තව තවත් බොහෝ දේ ලබාදෙන්නට කාම වෙබ් අඩවි පවත්වාගෙන යන්නවුන් ක්‍රියා කරනු නිසැකය. ඊට බිලිවන්නේ අපේම තරුණ තරුණියන්ය.

උදේශ ගමගේ

Divaina

0 comments:

Post a Comment