Sunday, August 23, 2009

Tagged Under:

‘හම්බන්තොට දිසාවෙන් තරඟවදිනවා’ - ටෙලිනාට්‍ය නිළි සුසන්තා චන්ද්‍රමාලි

By: Last Man On: 3:44 AM
(කොළඹ, ලංකාපුවත්, අගෝස්තු 23) – දකුණු පළාත් සභා මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ටෙලිනාට්‍ය නිළි සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය ඉදිරිපත් වීමට තීරණය කර ඇත.

ඇය ලංකාපුවත් සේවය කළ විමසීමකදී අදහස් දක්වමින් සඳහන් කර සිටියේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනාවකට අනුව තමන් මෙලෙස මැතිවරණයට තරඟ වදින බවයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුල්කිරිගල ආසනයෙන් තමන් තරඟ වදින බවත් එය සිය උපන් ගම බැවින් තමන්ට එම ආසනය පිළිබඳ මනා අවබෝධයක් ඇති බවත් ඇය පැවසුවාය.

තවදුරටත් අදහස් දක්වමින් සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය පවසන ලද්දේ තමන්ට කිසි විටෙකත් මැතිවරණයකට ඉදිරිපත් වීමේ බලාපොරොත්තුවක් නොතිබුණු බවයි. නමුත් කුඩා කළ සිටම සිය දෙමාපියන්ගේ දේශපාලන ක්‍රියාකාරිත්වය වර්තමානයේ මෙලෙස මැතිවරණයට ඉදිරිපත් වීමට අඩිතාලමක් වුණු බව ද ඇය කීය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, ඇමතිවරයෙකුව සිටි අවදියේ සිටම තමන් රාජපක්ෂ මහතාටත් රජයටත් සහය ලබා දුන් බවත් ඉන් අනතුරුව කොළඹට කේන්ද්‍රගත වීමෙන් පසුවත් තමන් ජනාධිපතිතුමන් රට වෙනුවෙන් කළ කාර්යභාරයට තමන්ට හැකි ලෙසින් සහය ලබා දුන් බව ඇය පැවසුවාය.

කෙසේ වෙතත් රට වෙනුවෙන් සහ ගම වෙනුවෙන් සිතමින් තමා මෙලෙස හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් දකුණු පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වන බව සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය කීය.

0 comments:

Post a Comment