Saturday, October 24, 2009

Tagged Under:

බලාපොරොත්තුව ඉන්නෙ හතළිහ පැන්න කෙනෙක්

By: Last Man On: 12:22 PM

රාණි මුඛර්ජී

බෙංගාලි ජාතික රාණි මුඛර්ජී සිනමා පවුලකින් පැවැත එන්නියක්. තාත්තා රාම් මුඛර්ජී. විශ්‍රාමික චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්. අම්මා ක්‍රිෂ්ණා චිත්‍රපට පසුබිම් ගායිකාවක්. සහෝදරයා රාජ් මුඛර්ජී චිත්‍රපට නිෂ්පාදකයෙක්. නෑනා කාජල් බොලිවුඩ් නිළියක්.

තමන්ගේ දහවන පංතියේ ඉඳලම නැටුම් ඉගෙන ගත් රාණි පුහුණු ඔඩිසි නර්තන ශිල්පිනියක්. ඇගේ පළමු සිනමා අත්දැකීම ලැබුවේ වයස අවුරුදු 14 දී. ඒ 1992 දී තාත්තා ගේ Biyar Phool බෙංගාලි චිත්‍රපටයේ රඟපෑමෙන්. ඒ ගමන අද වන විට රාණි මුඛර්ජී බොලිවුඩ් සිනමාවේ සුවිශේෂ චරිතයක් බවට පත් කළා.

මේ ඇය සමඟා කෙරුණු කතාබහක්.

* ආදරය ඔබේ අහලකටවත් එන්නෙ නෑ වගේ නේද?

ඒක එන වෙලාවක ඒවි. ආවෙ නැහැයි කියලා මගේ වැඩවලට ඒක බාධාවක් වෙලත් නෑ. අනික මම යමක් කරනව නම් මුලුමනින්ම එය හැගීම්බරව කරන කෙනෙක්. මට මගේ වෘත්තීය ජීවිතයයි, පෞද්ගලික ජීවිතයයි සමබරව තියා ගන්නේ කොහොමද කියලා තේරෙන්නෙත් නෑ. කොහොම නමුත් ජීවිතේ සතුටින් ගෙවෙනවා.

* උත්සව අවස්ථාවල නිතරම සාරියෙන්ම සැරසෙන්නෙ?

ඒක මට විශාල පහසුවක්. නමුත් හැමෝම කියනවා සාරි අඳින්න එපාය කියලා.

* මේ යුගයේ ඔබටයි අභිෂේක්ටයි එදා අමිතාබ් හා ජෙයා කළ දේ කළ හැකිය කියලා හුඟ දෙනෙක් කියනවා නේද?

ආ එහෙමත් කියනවද? මම නම් හිතන්නේ එදා අභිමාන්, මිලි චිත්‍රපටවල අමිතාබ් හා ජෙයා කළ දෙයින් හතරෙන් එකක් අපට කරගන්න පුළුවන් වේවිය කියලයි.

* චිත්‍රපට අධ්‍යක්ෂ ෂාඩ් ඔබට පෙම් කළා නේද?

ආ ඇත්තද? අධ්‍යක්ෂවරයෙක් එයාගේ නිළියට පෙම් කරන එක ඉතාමත් වැදගත්. ඒ නිළියගෙන් ගන්න පුළුවන් හොඳම දේ එළියට ගන්න අධ්‍යක්ෂවරයෙකුට තියෙන එකම හා හොඳම විදිහත් ඒකයි. ඔහුත් සමඟ මම චිත්‍රපට කිහිපයකම වැඩ කරලා තියෙනවා. ඔහු දන්නවා රංගනයේ දී මගේ හැඟීම් අවධි කරන්න හරියටම ඔබන්න ඕන මොන බොත්තමද කියලා. මේ නිසාම මාත් එක්ක වැඩ කරන හැම වෙලාවකම ඔහු මාව විශ්මයට පත් කරනවා.

* ඔබ වැඩ කරන පිළිවෙළ මොන වගේද?

මම කැපවීමෙන් වැඩ කරලා ඉතිරිය වාසනාවට භාර කරනවා. ඒ වගේම මට වැඩ කරන්න පහසු අය එක්ක විතරයි මම වැඩ කරන්නේ. මම හිතනව මගේ මේ සාර්ථකත්වය විවාහය වෙනකම්ම තියේවි කියලා.

* රඟපෑම ගැන?

රඟපෑම මට ස්වභාවයෙන්ම එන දෙයක් කියලයි මට හිතෙන්නේ. ඒක වෙන්නේ කොහොමද කියන්න නම් මම දන්නේ නෑ. නමුත් මම හිතනවා ඒක මට දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගත්ය කියලා.

* ඔබ අත්හදා බැලීම් කරනවාද?

මට ලැබෙන චරිතත් එක්ක අත්හදා බැලීම් කිරීම මගේ පුරුද්දක්. මට ලැබුණු චරිතත් ගොඩක් දුරට ඒකට ඉඩ තිබුණු චරිතයි.

* ඉස්කෝලෙ කාලේ?

මම ඉගෙන ගත්තෙ මිශ්‍ර පාසලක. ඒ නිසාම මට ගැහැනු පිරිමි කියලා භේදයක් හෝ විශේෂත්වයක් නෑ. මම මගේ යෙහෙළියන් තරමටම යාළුවන්ටත් සමීපයි.

* ඔබේ තාත්තා ගැන තියෙන්නේ මොන වගේ හැඟීමක්ද?

මගේ තාත්තා කිසි දවසක අම්මට අතක් උස්සලා නෑ. මගේ සහෝදරයාට මගේ බෙල්ල මිරිකන්න හිතෙන වෙලාවක වුණත් එයාම හිතලා ඒක පාලනය කර ගන්නවා. අපේ තාත්තට වැරදිලා මගේ කකුලක් පෑගුණත් ඒ ගැන දුක් වෙනවා. මේ නිසාම හැම ගැහැනු ළමයෙක් වගේම මමත් අපේ තාත්තාව උතුම් කොට සලකනවා.

* ඔබ අද ඉන්න තත්ත්වයට එන්න පිරිමින්ගේ කොච්චර දායකත්වයක් ලැබිලා තියෙනවාද?

මෙන්න මෙච්චරයි කියලා කියන්න නම් මිම්මක් මට නෑ. නමුත් පිරිමි කියන්නේ අගේ ඇති පිරිසක්. මම ඒ අයට ආදරෙයි. කතා දෙකක් නෑ. මම අධ්‍යක්ෂවරුන්ගෙන්, ෂාරුක්, අමීර්, ගෝවින්ද වගේ නළුවන්ගෙන් බොහෝ දේ ඉගෙන ගෙන තියෙනවා.

* ඔබ රාණි (රැජිනක්) හැටියට මිසක් රාජා (රජෙක්) හැටියට නොඉපදීම ගැන දුක් වෙලා තියෙනවාද?

නෑ. කොහෙත්ම නෑ. මම රැජිනක් (රාණි) වීම ගැන සතුටුයි. මට ලැබෙන පළමු දරුවත් ගැහැනු දරුවෙක් වෙනවටයි මම කැමැති.

* ගැහැනිය ගැහිනියක වීම නිසාම අසාධාරණයට ලක් වෙනවය කියලා ඔබ හිතනවාද?

ඔව්, මම හිතන්නේ ගැහැනියකට ඇය වෙනුවෙන් ජීවත් වෙන්නවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කියලයි.

* ඔබට හිතෙන්නේ නැද්ද පිරිමි ඒ අයගේ අඹු දරුවෝ වෙනුවෙන් ජීවත් වෙනවය කියලා?

බොහෝ දුරට හතළිහෙන් පස්සේ. හතළිහ වෙනකම් පිරිමි දඟකාරයි. මගේ තාත්තා අම්මට පක්ෂපාතව හිටියේ තාත්තා අම්මව බඳින කොට තාත්තට හතළිහක්, අම්මට විස්සක් වුණ නිසයි.

* ඒ කියන්නේ ඔබ බලාපොරොත්තුව ඉන්නෙත් හතළිහ පැන්න කෙනෙක්?

ඇත්ත වශයෙන්ම. මගේ ස්වාමියා තරුණ බිරියක ගැන අදහසින් මැඬුණු, එයාගේ ඇස් මගෙන් ඉවතට ගන්න බැරි කෙනෙක් වෙන්න ඕන.

* වැරැදි තියෙන මිනිහෙක්ව ගැහැනිය පිළිගන්න ඕනද?

කිසි කෙනෙක් අංග සම්පූර්ණ නෑ. ආදරය කියන්නේ එකිනෙකාගේ වැරැදි පිළිගන්න එකටයි.

* වැරැද්දට සමාව දෙන ඔය ලැයිස්තුවට කාම මිත්‍යාචාරයත් ඇතුළත්ද?

නෑ. මා ඇතුළු ගැහැනිය අයිති කාලි අම්මාගේ වංශයටයි. ඒ නිසා මම බඳින්නේ හතළිහ පැන්න පිරිමියෙක්වයි. එතැන ඉඳලා එයාගේ ජීවිත කාලයෙම සතුට, පක්ෂපාතකම ඒ හැම දේම මට විතරයි.

* කෑම සම්බන්ධයෙන් ඔබ මොන වගේද?

මමත් ඉතිං කන්න කැමැති බෙංගාලියෙක්. කිසිම බෙංගාලියෙකුට රස මී කිරියි, මාළුයි බතුයි නැතුව ඉන්න බෑ. ඒ හින්දා ඒක මට අතාරින්න පුළුවන්කමක් නෑ. නමුත් මාසෙකට සැරයක් වගේ මම නොකා ඉන්න දවස් තියෙනවා. ඒකත් දැන් අවුරුදු හතක අටක විතර ඉඳල ඇති වෙච්ච පුරුද්දක්. ඒ ඇරුණම මිනිස්සු මා ගැන මොනව හිතුවත් මම මට ඕන විදිහට කන කෙනෙක්.

* ව්‍යායාම් ගැන?

ව්‍යායාම අත්‍යවශ්‍යයයි. නමුත් අනිත් අය කරන දේවල් තමන්ට ගැළපෙන්නෙ නෑ. ඒ නිසා තමන්ට ගැළපෙන දේ තෝර ගන්න ඕන. නමුත් මගේ ශරීරයට වද දෙන්න මගේ කැමැත්තක් නෑ. එනිසා මම එකිනෙකට වෙනස් දේවල් අත්හදා බලනවා. අලුතෙන්ම මම තට්ටු හතරක බංගලාවකට මාරු වුණා. එකේ තට්ටු නැගිල්ලයි බැහිල්ලයි හොඳ ව්‍යායාමයක්. පාගන මෙෂින් එකට වඩා තරප්පු පෙළ හොඳයි. කොහොමටත් මම කැමැති කෙට්ටු ඇඟකටයි.

* ඔබේ රඟපෑමට පවුලේ ප්‍රතිචාරය?

ඒ අය නම් මට පක්ෂපාතියි හැම වෙලාවකම. එයාලගේ ප්‍රතිචාර හැම විටම ධනාත්මකයි.

* අලුත් පරම්පරාවේ නිළියන්ගෙන් කැමැතිම කාටද?

කිහිප දෙනෙක් ඉන්නවා. ප්‍රියංකා චොප්රා, දීපාක් පදුකෝන්, අනුෂ්කා ශර්මා විශේෂයි.

* ක්‍රිකට්වලට කැමැතිද?

ක්‍රිකට් ගැන චිත්‍රපටයක් කරනකම් නම් එහෙම විශේෂ කැමැත්තක් තිබුණේ නෑ. ඒත් ඒ චිත්‍රපටිය වෙනුවෙන් සම්පූර්ණයෙන්ම ක්‍රිකට් ඉගෙන ගෙන ක්‍රිකට් ගහන්න වුණු නිසාත්, දැන් ක්‍රිකට් දන්න නිසාත් දැන් නම් ක්‍රිකට්වලට කැමැතියි.

* ඒ කියන්නේ දැන් ඉන්දියාවේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් වෙළෙඳ තානාපතිනිය වෙන්නත් ඔබ සුදුසුයි?

දැන් නම් ඒ සුදුසුකම මට හොඳටම තියෙනවා. නමුත් එහෙම යෝජනාවක් එනව නම් ඒ ගැන තවත් සලකා බලන්න ඕන.

0 comments:

Post a Comment