Sunday, October 11, 2009

Tagged Under:

ජීවිත කාලයටම කිව්වේ ‘සීයා මනමාලයා’ සින්දුව විතරයි

By: Last Man On: 12:15 AM

සූපවේදි පබිලිස් සිල්වා අතීත මතකයක් දිග හරී

”සීයා මනමාලයා

නාකි ඉලන්දාරියා

මේ නාකි ඉලන්දාරියා

එන්න එන්න ලස්සනයි

බංගලාවේ බත් ම කාලා

බංගලාවෙ බත් කකා//”

“අශෝකා” චිත්‍රපටයට ධර්මදාස වල්පොල සමග මොහිදින් බෙග් ගායනා කළ මේ ගීතය එදා සිනමා ලෝලීන් සිනාසාගරයේ ගිල්වූ අයුරු ඔබට මතක ඇති. අනංගයා ආවේශවුණ ‘වයසක ඉලන්දාරින්’ට ඇහෙන්නට අපේ ගැටවරයන් අදත් මේ ගීය ගැයීමෙන් එහි අපූරුව හිතාගන්න පුළුවන්.

අපේ කාලයේ වීරයෙක් (එදා කොල්ල කාලෙ) ඔහුගේ ගම් පියස වන බලපිටිය පැත්තේ මුහුදු රැල්ල පාග පාග ගෙයක් ළඟින් උදේ හවස එහා මෙහා යන ගමන් මේ ගීතය හඬනගා කියමින් යාම පුරුද්දක් කරගෙන හිටියා. එහෙම කරන්න හේතුව ඒ ගෙදර ඇහැට කනට පේන කැකුළියකට මෙයාගෙ හිත ගිහින්. හිතේ තියෙන දේ කියා ගන්න වෙන විදිහක් නැති නිසයි ඔහු මේ ගීතයේ මුල් කොටස යන එන ගමන් හය්යෙන් කියාගෙන ගියෙ.

හැබැයි ඉතින් ගේ ඇතුළෙ හිටිය කැකුළියටත් මේ මලවියගෙ අපභ්‍රංශය දැනිලා දොර අස්සෙන්, ජනෙල් කූරු අතරින් හොරෙන් එබිකම් කරන්න පටන් ගත්තලු. කොහොම හරි වැඩිකල් යන්ඩ කලින් දෙපැත්තෙ ආසිරි මැද මේ දෙන්නට එක වහලක් යටට වෙන්නටත් මේ ගීතය ආශිර්වාදයක් වෙලා. අපේ වීරයා තම අතීතය සිහිකරමින් අප සමග කීවේ මේ ගීතයට තමාට එදා ලැබුණු සම්මානය තම සහකාරිය බවයි.

මේ අපූරු මතකය අප වෙත දිග හැරියේ අපේ මහා සූපවේදී පබිලිස් සිල්වායි එහෙමත් නැත්නම් පොලොස් කරියෙන් ලොව පුරා ගෘහණියන් ගේ ආදරය දිනාගත් ආචාර්ය පබිලිස් සිල්වායි. එහෙම කියන්නත් හේතුවක් තිබුණා. පොලොස් කරියෙන් නමක් දිනුවත් එය බඩට දැනුණු රසයක් මිස තම මනසට කිසිදු රසයක් නොදැනුණු බවයි ඔහු කියන්නෙ. ඔහු මෙහෙම කීවේ අපූරු උත්සවයක ප්‍රධාන අමුත්තා ලෙස ආරාධනා ලැබ සභාව අවදිකරමින්.

”අවුරුදු පනස් හයක් තිස්සේ දිව පිනවන කෑම ජාති හදල මං ලංකාවෙ විතරක් නෙමේ හුඟාක් රටවල ජනපි‍්‍රය වුණා. ඒ තත්වය මට ලැබුණේ බඩ පිනවලා. ඒත් මගේ මනසට අද තමයි නියම රසයක් දැනුණේ. අද මම වසර 56 කට පස්සෙ අලුත් පණක් ලැබුවා. මගේ මනස පුදුම විදිහට සැහැල්ලු වුණා. මං මෙච්චර කල් මොනවද කළේ කියල මට හිතුණා.

මගේ ජීවිතේ ඉහළම සතුටක් ලැබූ දිනය අදයි කියල මට හිතෙනවා. මහා සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා ඉහ වහා ගිය සතුටකින් පැමිණි පිරිස් ඇමතුවේය. අත්පොළසන් හඩින් මුළු ශාලාවම හිඟුම් දුන්නේය. ඔහුගේ කතාව අසා බවලත් උදවිය පුදුමයට ද පත්වූහ. පබිලිස් සිල්වා කීවේ තමා ජීවිත කාලය තුළ ගැයූ එකම ගීතය ‘සීයා මනමාලයා’ බවය. ජීවිත කාලයටම එකම ගීයක් ගයා සම්මානයක් දිනා ගැනීමට හැකිවීම ගැන ඔහු තම බිරින්දෑට ද අනේක වාරයක් තුති පිදුවේ මුළු සභාවම හිනා ගස්සමින්.

උත්තර භාරතීය කර්ණ රසායන ගීත මාධුර්යයෙන් මෝදු වුණු අපේ මහා සූපවේදියාට පනස් හය වසරක මුළුතැන්ගේ රාජකාරිය මොහොතකට අමතක වී ගියාසේය. මියුරු ගී හඬින් හා ගී නදින් ඔහු ගේ ලෝකය රස ගැන්විණ.

නෞෂාද් අලි භාරත ගාන්ධර්වයාණන් මාල් කවුන්ස් රාගය මිශි‍්‍රත ස්වර සංගතිවලින් හැඩ ගන්වා සංගීතවත් කළ මියුරු ගීය ඔහු දැහැන්ගත විය. ඒ පසුගිය සැප්තැම්බර් 27 වැනිදා ජෝන් දා සිල්වා සමරු රඟහලේ පැවැත්වුණු පැරණි හින්දි ගීත ප්‍රසංගයේදීය.

0 comments:

Post a Comment