Sunday, March 7, 2010

Tagged Under:

විවාහය ගැන ඒ තරම් හදිසියක් නෑ

By: Last Man On: 4:41 PM

අත්දැකීම් අනුව අපේ සිතුම් පැතුම් වෙනස්වෙනවා...





අත්දැකීම් අනුව අපේ සිතුම් පැතුම් වෙනස්වෙනවා...

(සිය පවුලේ ආභාෂය ද ඇතිව කලා ක්ෂේත්‍රයට පිවිසි ඇය මේ වනවිට ලාංකීය ටෙලි නාට්‍ය කලාව තුළ මෙන්ම සිංහල සිනමාව තුළ ද නම රැන්දූ ඇය සුරූපී, දක්ෂ රංගන ශිල්පිණියකි. ඇය රංගන ක්ෂේත්‍රයට පා තැබුවේ 2002 වසරේදීයි. එදා මෙදා තුර ටෙලි නාට්‍ය හා චිත්‍රපට බොහොමයකට සිය දායකත්වය සපයමින් චතුරිකා පීරිස් නම් ඇය මෙවර ආලින්දය හැඩකරයි.)



* කොහොමද ජීවිතේ?

ටෙලි නාට්‍ය වගේම චිත්‍රපට කිහිපයකම රූගත කිරීම් මේ දිනවල යෙදිලා තියෙනවා. නාලන් මෙන්ඩිස්ගේ"සුළං කපොල්ල"චිත්‍රපටය, ප්‍රගීත් රත්නායකගේ"ආදරෙයි මං ආදරෙයි"චිත්‍රපටය වගේම තවත් චිත්‍රපට කිහිපයකම රූගත කිරීම් සිදුවෙනවා. මේ දවස් වල වැඩිපුරම දායකත්වය දීලා තියෙන්නේ චිත්‍රපටවලටයි. ඒ ඇරෙන්න ටෙලි නාට්‍ය කිහිපයකත් වැඩ කටයුතු යෙදිල තියෙනවා. * තවමත් විවාහවෙන්න අදහසක් නැද්ද?

අ‍පේ දෙමාපියන්ගේ කැමැත්ත අපේ විවාහය සුදුසු නැකතටම කරන්නයි. එයාලා තවමත් ඒ නැකත උදාවෙනකන් බලං ඉන්නවා. ඉතින් රොෂාන්ටයි මටයිත් විවාහය ගැන ඒ තරම් හදිසියක් නෑ. සුදුසු කාලය එනකම් අපි දෙන්නත් බලං ඉන්නවා.

* ඔබ ක්ෂේත්‍රයට පිවිසුණු මුල් කාලයට වඩා මේ වනවිට ඔබේ ජනප්‍රියත්වය අඩුවෙලා කියලා හිතෙන්නේ නැද්ද?

නැහැ, ඇත්තටම මම මුල් කාලයේ ලබාගත්ත ජනප්‍රියත්වය අද වනවිටත් ඒ මට්ටමේම රැඳිලා තියෙනවා. මා එක්ක සමකාලීනව රංගනයට පිවිසුණු නිළියන්ගේ ජනප්‍රියත්වයත් ඒ විදිහටම තියෙනවා. නමුත් වර්තමානයේ රැල්ලට රංගනයට පිවිසෙන තරුණ නිළියන්ව මාධ්‍ය මගින් එකවරම ලොකු තැනකට ගෙනත් එකවරම අතහැරලා දානවා. ඒ අතරෙ කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපේ ජනප්‍රියත්වය අඩුවෙලා කියලා. නමුත් ඇත්තටම අපි ක්ෂේත්‍රයට ආවේ යම් හැකියාවක් ඇතුවයි. ඒ තුළින් අපට තවමත් ක්ෂේත්‍රය තුළ රැඳී සිටීමට හැකියාව ලැබී තිබෙනවා. තවමත් මට ජනතාවගේ ආදරය ලැබෙනවා.

* වර්තමානයේ බොහෝ රංගන ශිල්පිණියන් රංගනයට අමතරව නිවේදනය, ගායනය ආදී වෙනත් ක්ෂේත්‍රයන්ටත් යොමුවීම දක්නට ලැබෙනවා. ඔබටත් එහෙම අදහසක් නැද්ද?

මට ආරාධනා ලැබෙන සංගීත සංදර්ශන සඳහා මම ඉඩලැ‍බෙන විදිහට සහභාගි වෙනවා. නමුත් මම සංගීතය හා රංගනය පටලවාගන්නේ නෑ. මම වෘත්තීය රංගන ශිල්පිණියක්. ඊ‍ට බාධාවක් නොවන විදිහටයි මම සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධවෙන්නේ. රංගනය කියන්නේ ආසාව නිසාම කරන්න පුළුවන් දෙයක් නෙමේ. ඒ සඳහා හැකියාව වගේම කැපවීමත් අවශ්‍යයි. රංගන ක්ෂේත්‍රය තුළ ඉගෙනගන්න හුඟක් දේවල් තියෙනවා. ඒවාට ලංකාවේ ඉඩක් නෑ. ස්වඋත්සාහයෙන්ම අපි ඒ දේවල් ගැන අධ්‍යයනය කළ යුතුයි. ඒ සඳහා කාලය අවශ්‍යයි. මම මගේ මූලික අවධානය යොමුකරන්නේ රංගනය කෙරෙහියි. වෙනත් ක්ෂේත්‍රයකට පිවිසීමේ අදහසක් මට නෑ.

* රංගන ශිල්පිණියක් ලෙස මේ දක්වා පැමිණි ගමන ගැන ඔබ සෑහීමට පත්වෙනවද?

ඇත්තටම මම සෑහීමට පත්වෙනවා. වසර අටක කාලයක් තුළ බොහෝ නිර්මාණ වලට දායකවී‍මේ හැකියාව මට ලැබුණා. මම රංගනයට පිවිසුණු මුල්ම කාලේ ලැබුණේ හුඟක් හොඳ නිර්මාණ. නමුත් දැන් බිහිවන බොහෝ නිර්මාණ ගුණාත්මක බවින් අඩුයි. ඉස්සර තිර පිටපතක් ලිව්වට පස්සේ ඉන් නිර්මාණයක් බිහිවන්නේ කිහිපවතාවක්ම සංස්කරණය වුණාට පස්සෙයි. අද වෙනකොට පිටපතේ පිටු කිහිපයක් ලිව්වට පස්සේ රූගත කිරීම් පටන්ගන්නවා. ඇතැම් අවස්ථාවලදී පිටපත ලියන්නේ තෝරාගත් නළුවා හෝ නිළියට ගැළපෙන ‍විදිහටයි. ඒ නිසාම මම දැන් නිර්මාණයකට දායකවෙද්දී තෝරා බේරාගෙන ගුණාත්මක නිර්මාණ වලට පමණයි සම්බන්ධවෙන්නෙ. මම දැන් වැඩිය පේන්න නෑ කියලා හුඟදෙනෙක් කියන්නෙත් ඒ නිසයි.

* විවාහවෙන්න අදහසක් නෑ කියලා කියපු රොෂාන් පිලපිටිය අවසානයේ විවාහවෙන්න තීරණය කළේ ඇයි?

කාලයත් එක්ක ඒ අදහස වැරදියි කියලා රොෂාන්ට හිතෙන්න ඇති. වයසින් පරිණත වෙද්දි පවුල් සංස්ථාවක අගය තේරෙන්න ඇති. කාලයත් එක්ක අත්දැකීම් අනුව අපේ සිතුම් පැතුම් වෙනස්වෙනවා. (සිනාසී)කොහොමත් වයසට යද්දී අපි පුංචි කාලේ කරපු සෙල්ලම් සේරම ඉවරයි.

* ක්ෂේත්‍රයේ කෙනෙක්ම සහකරු විදිහට තෝරාගත්තේ ඔහු ඔබේ වෘත්තිය පිළිබඳව මැනවින් වටහාගනීවි කියලා හිතුන නිසාද?

ඇත්තටම මම බලාපොරොත්තුවෙන්නේ දිගටම රංගනය තුළ රැඳී ඉන්නයි. ඒ නිසා මගේ සහකරුගෙන් මගේ වෘත්තියට ලැබෙන සහයෝගය ඉතාම වැදගත්. නමුත් ඇතැම්විට ක්ෂේත්‍රයේම කෙනෙක් හමුවුණත් ඔහුට මාව තේරුම්ගන්න බැරිවෙන්න පුළුවන්. අපි දෙදෙනා අතර ඒ වගේ නොගැළපීම් තිබුණොත් සාර්ථක පවුල් ජීවිතයක් ගතකරන්න බෑ. මට මේ අවස්ථාව ලැබුණේ මගේ පවුල් පසුබිමත් එක්ක. ඒ දේවල් එකවර අතහරින්න බෑ. මම හිතන්නේ මේ හැමදෙයක්ම තීරණය වෙන්නේ අපේ දෛවය අනුවයි. අපේ කර්මය අනුවයි. ඉතින් මට රොෂාන් වගේ කෙනෙක් මුණගැහෙන්න ඇත්තෙත් ඒ නිසාම වෙන්න ඇති.

* ඔබ හිතන විදිහට ක්ෂේත්‍රය තුළ ඔබට සිටින තරගකාරියන් කවුද?

මට ක්ෂේත්‍රයේ තරගකාරියන් නෑ. ඇතැම් අවස්ථාවලදී මට ලැබෙන නිර්මාණයකට මගේ කාර්යබහුලත්වය හෝ වෙනයම් කාරණයක් මත වෙනත් නිළියක තෝරාගන්න පුළුවන්. නමුත් ඇය ඒ චරිතය සඳහා සියයට සියයක්ම ගැළපෙනවා කියලා කියන්න බෑ. අද පවතින තරගකාරිත්වය නිසාම ඇතැම් ශිල්පිණියන් අතර මතභේදයන් පවා හටගන්නා අවස්ථා දකින්න පුළුවන්. මම එවැනි අවස්ථාවකට මුහුණ දී නැතිවුණත් ඒ වගේ දේවල් නිසා ක්ෂේත්‍රය තුළ දීර්ඝකාලීනව රැඳීසිටීමට අපහසුවෙනවා.

* වර්තමානයේ ක්ෂේත්‍රයට පිවිසෙන බොහෝ ශිල්පිණියන් දකින්න ලැබෙන්නේ ටික කාලයයි. ඔබ හිතන විදිහට ඊට හේතුව කුමක්ද?

වර්තමානයේ ආධුනික ශිල්පිණියන් දක්ෂ නෑ කියන්න බෑ. දක්ෂ අය ඉන්නවා. නමුත් මම හිතන්නේ ඔවුන්ට අවස්ථාවන් ලැබෙන්නේ නෑ. ඇතැම් ශිල්පිණියන් අවස්ථාවන් ලබාගන්න විවධ මාර්ග වලින් ක්ෂේත්‍රයට පිවිසෙනවා. නමුත් අවසානයේ ඔවුන් ඒ මාර්ග වලින්ම ඉවත්ව යනවා. දක්ෂ ශිල්පිණියන්ට තමන්ගේ හැකියාවන් ඉදිරිපත් කිරීමට අවශ්‍ය හොඳ නිරිමාණ බිහිවන්නේ නෑ. අද තියෙන්නේ දමල ගහන ‍ටෙලි නාට්‍ය කලාවක්. අද නිළියන්ගේ ප්‍රතිරූප ගොඩනඟන්නේ මාධ්‍ය. මාධ්‍ය විසින්ම ඒ ප්‍රතිරූප බිඳදමනවා. ඒකයි වර්තමාන රංගන ක්ෂේත්‍රයේ තත්ත්වය.

*රංගන ශිල්පිණියකට පෞද්ගලික ජීවිතයක් පවත්වාගෙන යන්න අපහසුයි නේද?

අපහසු වෙන්න පුළුවන්. නමුත් මට නම් පෞද්ගලික ජීවිතයක් තියෙනවා. මම හැම දෙයක්ම කරන්නේ සැලැස්මකට අනුවයි. ජනප්‍රිය පුද්ගලයෙකු වුණත් ඔහු තමන්ගේ පෞද්ගලික ජීවිතයේ බැඳීම් පවත්වා ගත යුතුයි. කොයිතරම් කාර්යබහුල වුණත් මම මගේ පවුලේ සාමාජිකයින් සමග කාලය ගතකරන්න අනිවාර්යයෙන්ම වේලාවක් යොදාගන්නවා. මම මගේ විවේකය සදහා වෙන්කර ගත් කාල වේලාවන් වලදී මාධ්‍ය වලට සම්මුඛ සාකච්ඡාවක්වත් ලබාදෙන්නේ නෑ.

* අනාගත සැලසුම්?

දිගටම රංගනයේ යෙදෙනවා. ලොකු දේවල් නම් මම ජීවිතේ තුළ සැලසුම් කරගෙන නෑ. නමුත් අනාගතයේදී වෘත්තිය වගේම පෞද්ගලික ජීවිතයෙත් යම් යම් සැලසුම් කිහිපයක් තියෙනවා. ඒ දේවල් ඉස්සරහට දැනගන්න ලැබේවි.

0 comments:

Post a Comment