Monday, March 22, 2010

Tagged Under:

අපිට ආදරේ රසවිඳින්න ලැබුණු කාලය අඩුයි....

By: Last Man On: 9:45 AM
අපිට ආදරේ රසවිඳින්න ලැබුණු කාලය අඩුයි....
"සතයෙන් සතය"වෙ‍ළෙඳ දැන්වීමෙන් බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත් ඇය අද වනවිට ප්‍රවීණ රංගන ශිල්පිණියක් බවට පත්ව සිටී. විවිධ චරිත හරහා සිය රංගන හැකියාවන් ඉදිරිපත් කරමින් ඇය මේ දිනවලත් පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ හමුවට පැමිණෙයි. අද ආලින්දයට ගොඩ වූ ඇය සුජානී මේනකාය.



* මොනවද අලුත්ම වැඩ කටයුතු?

මේ දවස් වල"සරා"චිත්‍රපටයේ රූගත කිරීමේ කටයුතු සිදුවෙනවා. ඒ වගේම තවත් අලුත් නිර්මාණ කිහිපයකටම දායකවෙලා ඉන්නේ. ඒ ගැන ඉදිරියෙදි දැනගන්න ලැබේවි.

* කලා ශිල්පිණියක් ලෙස වෘත්තීය ජීවිතය තුළ ඔබ අරමුණු කරගත් තැනට එන්න පුළුවන් වුණා කියලා හිතනවද?

තවම නෑ. තවමත් මං රංගනය පැත්තෙන් ඉටුකර තිබෙන්නේ ඉතාම සුළු කාර්යයක් විතරයි. රංගනයේ යෙදිය යුතු විවිධ චරිත තිබෙනවා. මං තවමත් විවිධ චරිත වලට දායක වීම ආරම්භ කළා පමණයි. තවමත් මම අරමුණ කරගත් තැනට එන්න මට බැරිවුණා. තවම මම බොහොම සුළු තැනක ඉන්නේ. තව බොහෝ දේ අධ්‍යයනය කළ යුතුයි.

* ක්ෂේත්‍රයට නවක රංගන ශිල්පිණියන් ඔබට අභියෝගයක්ද?

කවදාවත් කවුරුවත්ම මට අභියෝගයක් වුණේ නෑ. මම අභියෝගයක් කරගන්නේ මාවමයි. රංගනය පැත්තෙන් සාධාරණයක් කරන්න එය මට පහසුවක්. මේ ක්ෂේත්‍රයට නවකයින් පැමිණිය යුතුයි. හැමදාම එකම මුහුණ දැක්කොත් ක්ෂේත්‍රයට පැවැත්මක් නැතිවෙනවා. නවකයින් එක්වීම, නව නිර්මාණ බිහිවීම ඉතාම හොඳ ප්‍රවණතාවයක්.

* රංගන ශිල්පිණියක් නොවුණා නම් ඔබේ වෘත්තිය කුමන මාවතකට යොමුවෙයිද?

ඒ ගැන නම් මට අදහසක් දෙන්න අපහසුයි. මොකද මම රංගන ශිල්පිණියක් වුණෙත් මගේ පවුලේ ආභාසය නිසයි. මගේ පියා කලා අධ්‍යක්ෂවරයෙක්. මට නිශ්චිත අරමුණක් තිබුණේ නෑ. මේ වෘත්තිය වෙත යොමුවෙනවා කියලා. මගේ ජීවිතේ ඉබේම වගේ රංගනය පැත්තට යොමුවුණා. ඉතින් දැන් මගේ බලාපොරොත්තුව දිගටම වෘත්තීය රංගන ශිල්පිණියක් ලෙස මේ ක්ෂේත්‍රය තුළ රැඳීඉන්නයි.

* රංගන ශිල්පිණියක් ලෙස ඔබේ දක්ෂතා ඇගයීමට ලක් වී තිබෙනවාද? ඒ ගැන ඔබට සෑහීමට පත්වෙන්න පුළුවන්ද?

ඇත්තටම ඔව්. මම රංගන ක්ෂේත්‍රයට ඇවිත් දැන් වසර 27ක් පමණ වෙනවා. එම කාලය තුළ මගේ රංගනය වෙනුවෙන් මම අවස්ථා කිහිපයකදීම සම්මානයට පාත්‍ර වුණා. මට මුල්ම සම්මානය ලැබුණේ 1986 දී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ"ප්‍රාර්ථනා"ටෙලි නාට්‍ය වෙනුවෙන්. එහිදී මට කුසලතා සම්මානයක් ලැබුණා. ඉතින් මම හිතනවා මගේ දක්ෂතා නියම විදිහට ඇගයීමට ලක්වුණා කියලා.

* ඔබ සහ බිමල් අතර ආදරය ඇතිවුණේ හිමාලි සයුරංගිගේ මැදිහත්වීමෙන් කියන්නේ ඇත්තද?

හිමාලියි මමයි පුංචි කාලේ ඉඳලම හුඟක් හොඳ යාළුවෝ. බිමල්ගෙයි මගෙයි ආදරයට මුලින්ම උදව් කළේ හිමාලි. අපි දෙන්නා ළමා පිටියෙදිත් එක‍ට වැඩකළා. ඒ වගේම එකම නිර්මාණ වලදී රංගනයෙන් දායක වුණා."රම්‍ය සුරම්‍ය"ටෙලි නාට්‍යයේදීත් අපි දෙන්නා එකට රඟපෑවා. ඒ ටෙලි නාට්‍යයේදි තමයි මමයි බිමලුයි හමුවුණෙත්. අපි දෙන්නගෙ ආදරයට හිමාලි හුඟක් උදව් කළා.

*ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර අතරින් අමතක නොවන අත්දැකීම් ගැන මතක් කළොත්?

අමතක නොවන අත්දැකීම් නම් තියෙනවා. ඒ අතරින් මම පුංචි කාලේ මුලින්ම දායක වුණු ඉතිරි කිරීමේ වෙළෙඳ දැන්වීම (සතයෙන් සතය) නිසා නම් මට පිරිමි ළමයින් අනවශ්‍ය විහිළුත් කරන්න පටන්ගත්තා. ඒ දැන්වීමෙන් තමයි මම මුලින්ම ජනතාව අතරට ගියේ. ඒ දැන්වීමේ තිබුණ වචන කිහිපයක් වෙනත් විදිහකට හරවලා පිරිමි ළමයි මට විහිළු කරපු අවස්ථා තිබුණා. ඊට පස්සේ මාව පාසලට ඇරලවන්න මගේ අම්මටත් එන්න සිද්ධවුණා.

* ඔබ හිතන විදිහට ඔබ සාර්ථක රංගන ශිල්පිණියක්ද? හොඳ බිරිඳක්ද?

මගේ පෞද්ගලික ජීවිතයේදී මම හැමවිටම හොඳ ගෘහණියක්, හොඳ බිරිඳක් ලෙස වඩාත් සාර්ථක වෙන්න උත්සාහ කරනවා. ඒ වගේම කවදහරි හොඳ මවක් වෙන්නත් බලාපොරොත්තු වෙනවා. වෘත්තීය පැත්තෙන් ගත්තම හොඳ රංගන ශිල්පිණියක් වෙන්න උත්සාහ කරනවා. ඒ දෙපැත්තම සාර්ථක කරගැනීමයි මගේ බලාපොරොත්තුව.

* තනිකඩ ජීවිතයද විවාහක ජීවිතයද වඩාත් හොඳයි කියලා හිතන්නේ?

මට නම් ඒ ජීවිත දෙකම සුන්දරයි. තනිකඩව හිටපු කාලේ මම ගතකරපු සුන්දරම කාලේ මගේ පාසල් කාලේ. මට ජීවිතේ විඳින්න ලැබුණේ ඒ කාලේ. පාසලෙන් ඉවත්වුණා ට පස්සේ රංගන කටයුතු නිසා හුඟක් කාර්යබහුල වුණා. බිමල්ගෙයි මගෙයි ප්‍රේම සම්බන්ධය ප‍ටන්ගත්තට පස්සෙත් අපි දෙන්නගෙම කාර්යබහුලත්වය නිසා අපිට ආදරේ රසවිඳින්න ලැබුණ කාලය අඩුයි. නමුත් විවාහයෙන් පස්සේ කාර්යබහුල වුණත් අපි දෙන්නා එකට ඉන්න හින්දා ජීවිතේ සුන්දරව ගෙවෙනවා.

* මේ දක්වා ඉදිරිපත් කළ රංගනයන්ගෙන් කළ සාර්ථකම රංගනය මොකක්ද?

මට එකවරම කියන්න බෑ මෙන්න මේ චරිතෙදි මට උපරිම රංගනයක් ඉදිරිපත් කරන්න හැකිවුණා කියලා. ඕනෑම රංගන ශිල්පියෙක්ට තමන්ට ලැබෙන ඕනම චරිතයකදී ඉදිරිපත් කිරීමට යම් විශේෂ දෙයක් තිබේනම් එයින් තමන්ගේ දක්ෂතාවන් එළිදැක්වීමට හැකියාව ලැබෙනවා. එය නිශ්චිත එක් චරිතයක් කියලා කියන්න බෑ. විවිධ චරිත ඉදිරිපත් කරන්න පුළුවන්.

* බිමල් ජයකොඩි ඔබේ ප්‍රථම ප්‍රේමයද?

ඔව්, පාසල් යන කාලේවත් ඊට පස්සෙවත් බිමල්ව හමුවන තුරු මම ආදරය කරල තිබුණේ නෑ. පාසල් යන කාලේ සුන්දරව ගත කළා. මට ඒ කාලේ අනවශ්‍ය කරදර දාගන්න හිතුණේ නෑ. ප්‍රේක්ෂකයින්ගෙන් ආදරය ගැන යෝජනා ආවා. සමහරු මම දන්නෙත් නෑ. අම්මගෙන් ඇවිත් මම ගැන අහලා තිබුණා. නමුත් ඒ කාලේ ඇත්තටම මට ආදරය, පෙම්වතෙක්, විවාහය පිළිබඳව ඒ තරම් අදහසක් තිබුණේ නෑ. මම කරන වැඩ ගැන විතරයි හිතුවේ. නමුත් මම හිතනවා නියමිත කාලෙදි මම පෙම්වතියක් වුණා. නියමිත කාලෙදි විවාහ වුණා.

0 comments:

Post a Comment