Saturday, March 13, 2010

Tagged Under:

තෘප්තිමත් විය හැකි ගමනක් මම ඇවිත් තියෙනවා

By: Last Man On: 10:26 PM

ඉන්දිකා උපමාලි

‘සඳ පහන් රැයේ’ ගීත එකතුව සහ ‘කුවේණි’ ප්‍රසංගය 18 වැනිදා එල්ෆින්ස්ටන්හිදී’

සංගීතය ඇගේ ආත්මය හා බැඳුණකි. එයින් ඇය ජීවිතය සොයා යන්නීය. ගීතය, ගායනය දිවිය කොටගත් ඇයට රංගනය ද අභියෝගයක් නොවේ. සංගීතය සේ ම එය ද ජයගන්නට ඇය සමත්වී හමාර ය.

සඳ පහන් රැයක එකී සඳ මඬල ලෙස ම කලා ලොවට විකසිත වන්නී ඉන්දිකා උපමාලි නම් මේ සොඳුරු කලා ශිල්පිනියගේ කලා දිවියට දැන් විසි වසරකි.

කලා ලොවේ නිහඬ මෙන් ම අර්ථවත් ගමනක යෙදෙන ඉන්දිකා, ඇගේ කුලුදුල් සංයුක්ත ගී තැටිය සහ කැසට් පටය වන ‘සඳ පහන් රැයේ’ ගීත එකතුව දොරට වැඩීමේ උලෙළ සහ ඇගේ සිසුවියන් පිරිස එක්ව ඉදිරිපත් කරන ‘කුවේණි’ ප්‍රාසාංගික ව්‍යායාමය මේ මස 18 වැනිදා සවස 6.30 ට එල්ෆින්ස්ටන් රඟහලේ දී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුව සිටියි. ‘රසඳුන’ සතුටු සාමීචියට ගොඩවැදුණු ඉන්දිකා ඒ පිළිබඳව අප සමඟ තොරතුරු බෙදා හදාගත්තේ මේ අයුරින්.

ඉන්දිකා ඔයාගෙ කලා දිවියට දශක දෙකක් සම්පූර්ණ වෙනවා. කලා ජීවිතේ ආරම්භ කරපු තැනින් ම අපේ කතා බහත් අරඹමු නේද?

1989 අවුරුද්දේ තමයි මම කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වුණේ. ඒ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් ගේ ‘මානසවිල’ ඔපෙරාව හරහා එය 1990 වර්ෂයෙ දි තමයි වේදිකාගත වුණේ. මගේ සංගීත ජීවිතයේ ආරම්භය එ තැන කිව්වොත් එය නිවැරදියි. මේ වෙනකොට මම ක්ෂේත්‍රයට අවතීර්ණවෙලා විසි වසරක් වෙනවා.

කලා ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වෙලා විසි වසරකට පසුවයි ඔබ ඔබේ කුලුදුල් ගීත එකතුව ඇතුළත් සී.ඩී. තැටිය එළිදක්වන්නේ. එයට මෙතරම් කාලයක් ගත වුණේ ඇයි?

හුඟ දෙනෙක් මගෙන් අහන ප්‍රශ්නයක් තමයි ඕක. මම මේ ක්ෂේත්‍රයේ හෙමින් ගමනක් යන්නේ ඇයි ද කියන එක හුඟ දෙනකුට ප්‍රශ්නයක්. ඇත්තටම වෙලාවකට මට මේ ගැන කනගාටුවකුත් ඇති වෙනවා. මේ වසර 20 ට මට තෘප්තිමත් වෙන්න පුළුවන් ගමනක්, දුරක් කලා ක්ෂේත්‍රයේ මම පැමිණ තිබෙනවා. මම වසර ගණනාවක් කේමදාස මාස්ටර් ළඟ සංගීතය හැදෑරුවා. මට මතකයි එහිදී මාස්ටර් නිතරම කියන දෙයක් තමයි සංගීතය කියන්නේ වචනවලින් එහාට ගිය දෙයක් කියලා.

ඒ වගේ ම එතුමා කියනවා ලංකාවේ අද සරල ගීතය කියන එකට සංගීතය කොටුවෙලා කියලත්. මම සී.ඩී. තැටියක් කැසට් පටයක් නොකළාට ගායන ශිල්පිනියක ලෙස මම සංගීත ක්ෂේත්‍රයේ සෑහෙන දුරකට ඇවිත් කියල මට හිතෙනවා. මොකද සිනමා සංගීතය තුළ හොඳම ගායිකාව ලෙස මම සම්මානයට පාත්‍ර වුණා.

ඒ වගේ ම ටෙලිනාට්‍ය තුළත් හොඳම ගායිකාව ලෙස සම්මාන දිනාගත්තා. කලා ක්ෂේත්‍රයට සිදු කළ මෙහෙවර වෙනුවෙන් බුන්කා සම්මාන යෙන් පවා මම පිදුම් ලැබුවා. සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ පළමු පන්තියේ සාමාර්ථයක් ඇතිව උපාධිය සමත් වුණා. මේ නිසා කවුරු චෝදනා එල්ල කළත් මම මගේ කලා ජීවිතේ හුඟක් දේවල් මේ වසර 20 තුළ ඉෂ්ට කරගෙන තිබෙනවා. අද ලංකාවේ ගායක ගායිකාවන් මනින්නේ ඔවුන් කරල තියෙන සීඩි ප්‍රමාණය මතයි. ඇත්තටම මෙය කනගාටුවට කාරණයක්.

ඔබ මේ වනවිට සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සංගීත අංශයේ කථිකාචාරිණියක් ලෙස සේවය කරනවා. විශ්වවිද්‍යාලය තුළ සංගීත ක්ෂේත්‍රය කෙරෙහි සිසු දරුවන්ගේ ආකල්පය මොනවගේ ද?

ඇත්තටම අද සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සංගීතය හදාරන විද්‍යාර්ථීන්ට සංගීතය පිළිබඳව පුළුල් ලෙස දැන ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. විශේෂයෙන් ම සංගීත විෂය ධාරාව පුළුල් ක්ෂේත්‍ර ඔස්සේ බෙදී ගොස් තිබෙනවා. බටහිර සංගීතය, ඔපෙරා, ජෑස්, පොප්, කම්පියුටර් ආදී වශයෙන් විවිධ විෂය පරාසයන් කරා දරුවන්ට තම ශිල්ප ඥානය දියුණු කරගන්න පුළුවන්. ඒවා ගැන හදාරන්න පුළුවන්. කථිකාචාර්යවරියක් විදිහට සිසු දරුවන්ට අත දෙන්න පුළුවන්වීම ගැන ඇත්තටම හිතේ තියෙන්නේ සතුටක්.

ඔබ රංගන ශිල්පිනියක ලෙසත් රසික ජනතාව අතර ජනප්‍රියයි. මේ ගැනත් කතා කරමු.

මේ සී.ඩී. තැටිය එළිදක්වන වැඩකටයුතුත් එක්ක මගේ රංගන කටයුතුවලට යම් තරමක විරාමයක් තබන්න මට සිදුවුණා. ඒ වුණත් මම රංගනයෙන් ඉවත් වන්නේ නැහැ. මම රංගනයට අවතීර්ණ වුණේ ‘ධවල කේතු’ ටෙලිනාට්‍යය හරහා මේ වෙනකොට ටෙලිනාට්‍ය සහ චිත්‍රපට කීපයකටම රංගනයෙන් සහ ගායනයෙන් මම දායකවෙලා තිබෙනවා. සම්මානයට පවා පාත්‍රවෙලා තිබෙනවා.

ගායිකාවක ලෙසත් නිළියක ලෙසත් කටයුතු කරන ඔබට රසිකයන්ගෙන් ලැබෙන ප්‍රසාදය මොන වගේද?

ඇත්තටම එක වගේ ම මේ දෙ අංශයටම යහපත් ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන මට දැනෙන්නේ අසීමිත සතුටක්.

මේ දවස්වල ඔබ විශාරද නන්දා මාලිනිය සමඟ ගායනා කරන ගීතයක් රූපවාහිනි නාලිකා ඔස්සේ විකාශය වෙනවා. ඒ ගැන කතා කරමු ද?

සඳ එළිය වෙලා ඔබ ඇවිදින්

දුක අහස වගේ

මයෙ අහසට අම්මේ...

මේ ගීතය ආසියාතික දියණියක සහ මවක අතර තිබෙන බැඳීම ගැන කියවෙන ගීතයක්. දියණියක විවාහ වෙලා ගෙදරින් ගියාට පස්සේ මොන තරම් ආදරේ වුණත් අම්ම කෙනෙක් දික්කසාද වෙලා නැවත ගෙදරට එන්න කියලා කියන්නේ නැහැ.

ඕනම ප්‍රශ්නයකට මුහුණ දෙන්න ජීවිතයට ශක්තිය ගන්න, ඔයාට කවදාක හරි කඳුළු මතින් හිනාවෙන්න පුළුවන් කියන එකයි අම්මා කෙනෙක් තමාගෙ දුවට කියන්නේ.

ඒ වගේ ඉතාම සංවේදී ඔවදනක් දෙන ගීතයක් මේක. මේ ගීතය අහලා මාලනී අක්කා (මාලනී ෆොන්සේකා) ඇඬුවා. ඒ තරම් සංවේදී ගීතයක්. අද රසිකයන් අතර මේ ගීතය හරිම ජනප්‍රියයි.

ඔයාගෙ අනාගත බලාපොරොත්තු ගැන දැනගන්නත් අපි කැමැතියි?

බලාපොරොත්තු කිහිපයක් ම ඉෂ්ට කරගන්න තිබෙනවා. එයින් පළමු වැන්න තමයි ලබන 18 වැනිදා එල්ෆින්ස්ටන් රඟහලේදී ප්‍රසංගය සාර්ථකව පැවැත්වීම.

මේ උලෙළ නන්දා මාලිනිය සහ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. මගේ අලුත් ගීත, සම්මානයට පාත්‍ර වුණු පැරණි ගීත, කේමදාස මාස්ටර් නිර්මාණය කරපු ගීත ප්‍රාසාංගිකව විදගන්න රසිකයන්ට මෙහිදී අවස්ථාව ලැබෙනවා.

මේ සඳහා මට නර්තනයෙන් චන්න විජේවර්ධනත් සංගීතය මෙහෙයවීමෙන් සමන්ත පෙරේරාත් සහාය වෙනවා. මේ ප්‍රසංගය නොමිලේ පවත්වන්නක්. මේ අවස්ථාවට සහභාගි වෙන්න කියලා මගේ රසිකයන්ගෙන් ඉතාම ආදරයෙන් මේ අවස්ථාවේ දී ඉල්ලා සිටිනවා.

ඒ වගේ ම ඉදිරියේ දී වේදිකාවට සම්බන්ධව ප්‍රාසාංගික නිර්මාණයක් ඉදිරිපත් කිරීමටත් මම බලාපොරොත්තු වෙනවා. එහි මූලික සැලසුම් මේ දිනවල සිදු කරමින් සිටිනවා.

ඔබේ පෞද්ගලික ජීවිතය ගැනත් රසිකයන් දැනගන්න කැමැත්තෙන් ඇති?

මම විවාහකයි. මගේ සැමියා ව්‍යාපාරිකයෙක්. ඔහුගේ නම රොහාන් චින්තක. ඔහුගෙන් මගේ කලා කටයුතු වලට ඉතා විශාල සහයෝගයක් ලැබෙනවා. ඒ වගේ ම මගේ අම්මා තාත්තාගෙන් ලැබෙන සහයෝගයත් මේ වෙලාවේදී මම මතක් කළ යුතුමයි.

ඉන්දිකා ගේ ලිපිනය: - නො. 70/ 17/ ඒ,

අන්දිරිස් මාවත, රත්නපිටිය.

0 comments:

Post a Comment