Sunday, September 13, 2009

Tagged Under:

ඕනෑම දෙයක් දරාගන්න මට පුළුවන් - මීනා කුමාරි

By: Last Man On: 11:48 PM

ඕනෑම දෙයක් දරාගන්න මට පුළුවන්

මීනා කුමාරි

පුරා වසර 04 ක් නොකඩවා එකම චරිතයක් ඔස්සේ ඔබේ නිවහනට පැමිණි ඇය ඒ වසර ගණනාව පුරා ම මේ රටේ රූපවාහිනි ප්‍රේක්ෂකයන්ගේ පවුලේ ම කෙනෙක් බවට පත්වෙලා හිටියා. ඇය අඬන කොට අඬන්න පිරිසක් අපේ රටේ හිටියා. ඇය සිනාසෙන විට ධෛර්යයෙන් ජීවිතේ ජයගන්න විට ඇයත් එක්ක සතුටුවෙන්න ප්‍රේක්ෂක පිරිසක් අපේ රටේ බිහි වුණා. ඇය වසූදා... ඔබට අමතක වෙන්න විදියක් නෑ. වසූදා තිරයේ මැවූ ඇය මීනා කුමාරි.

කාලයක් ඔබ නිතර දෙවේලේ ම රූපවාහිනියෙන් දැක්කා. ඇයි දැන් ඔබ දකින්න නැත්තේ.

“මම අවුරුදු 04 ක් එක දිගට ‘වසුදා’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙලා හිටියා. අද වෙනකොට හැමදෙනා ම කතා කරන ‘මෙගා’ කියන තත්ත්වය මුලින් ම ආවේ මේ ටෙලිනාට්‍යයෙන්. ඒ කාලේ මහා ලොකු විවේචන රාශියක් මේකට එල්ල වුණා.

අනිත් එක තමයි ප්‍රධාන නිළිය වෙනස් නොවී එක දිගටම සිටීම. ඒ හින්දම කවුරුත් කතා නොකෙරුවාට එය කතා කළ යුතු තැනක තිබෙනවා කියලා මට හිතෙනවා. පුරා වසර 04 ක් එක දිගටම මම ඒ නාට්‍යයේ හිටපු නිසා රඟපෑම ටිකක් සීමා වුණා.”

ඒ කියන්නේ ඔබ තෝරා බේරාගෙන රඟපානව කියන එකද?

ඇත්තටම දැන් මට නිර්මාණ ටිකක් තෝරාගන්න වෙලා තිබෙනවා. ඒකට විශේෂම හේතුව මගේ දියණියගේ වැඩකටයුතු වෙනුවෙන් මගේ කාලයෙන් වැඩි කොටසක් වැය කිරීම. විශේෂයෙන් දුර පළාත්වල යන්නේ අඩුවෙන්. කොළඹ අවට වගේ වැඩ තමයි බාරගන්නේ.

පසුගිය දිනවල ඔබ ඉන්දියානු චිත්‍රපටයකට සම්බන්ධ වුණා කියලා ආරංචියි!

“ඔව්. මලයාලම් චිත්‍රපටයකට සම්බන්ධ වුණා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ලෝක ප්‍රකට ‘පිරවි’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ සාජි එන් කරූන්.

ඔබට කොහොමද ඒ අවස්ථාව ලැබුණේ?

“මේ චිත්‍රපටයට නිළියක් ලංකාවෙන් හොයත්දී මට මේ සඳහා ඉදිරිපත් වෙන්න අවස්ථාව සැලසුණේ ඈෂ්ලි රත්නවිභූ®ෂණ යුවළ නිසයි. ඒ සඳහා මගේ රංගනය නරඹන්න මම ඉදිරිපත් කළෙත් ඒ වෙනකොට මම රඟපාමින් හිටි ‘වසුදා’ නාට්‍යයේ දර්ශන. ඒවා බලල තමයි මාව මේකට තෝරා ගත්තේ.

සාජි එන් කරුන් සමඟ වැඩ කරද්දී ලැබූ අත්දැකීම් මොනවද?

“මේක මගේ ජීවිතේ මට ලැබුණු ලොකු වාසනාවක්. ඔහු හරිම පිළිවෙළට වැඩ කරන අධ්‍යක්ෂවරයෙක්. ඉන්දියානු නළු නිළියන් සමඟ තමයි මට වැඩ කරන්න ලැබුණේ. ශ්‍රී ලංකාවෙන් හිටියේ මම විතරයි. මම මුලින් ම දවස් 5 ක් ඔහුත් සමඟ වැඩ කරලා ආවා.

ඊට පස්සේ දවස් 10 ක් වැඩ කළා. ආයෙත් දවස් 04 ට ඉන්දියාවට ගියා. මැංගලෝර්, කොචින් ත්‍රිවේන්ද්‍රම්, ගැරුවාපූර් වැනි ස්ථානවල තමයි රූගත කිරීම් තිබුණේ.

ඔබට ලංකාවේ සිනමාවේ ලැබුණු අවස්ථා අල්පයි නේද?

“ඔව්. මම ලංකාවේ චිත්‍රපට තුනකට විතරයි සම්බන්ධ වෙලා තියෙන්නේ.

සිනමාවේ අවස්ථාවක් නොලැබෙන්න හේතුව මොකක් කියලද ඔබ හිතන්නේ?

“සමහරවිට මට සුදුසු චරිත නොතිබුණා වෙන්න පුළුවන්. ඒ වගේ ම අද චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න දැන හැඳුනුම්කමක් තියෙන්න ඕනනේ. කිසිම දැන හැඳුනුම්කමක් නැතුව මලයාලම් චිත්‍රපටයට මා තේරුණු එක ගැන මට සතුටුයි. ඒක මගේ දක්ෂකමට ලැබුණු දෙයක් හින්දයි.

ලංකාවේ සිනමාවේ ඔබට වැඩි ඉඩක් නොලැබීම ගැන කනගාටුවක් නැත්ද?

“විශේෂ කනගාටුවක් නෑ. මට ලැබුණ දේට මම සම්බන්ධ වුණා. රංගන ශිල්පිනියක් හැටියට රසිකයන් අතරට යන්නට මට පුළුවන් වුණා. සිනමාව නැතිවුණාට ටෙලිනාට්‍ය සහ වේදිකා නාට්‍යවලින් මම ඔවුන් අතරට ගියා. ඒ හින්දා මට තෘප්තියක් දැනෙනවා.

ඔබේ පෞද්ගලික ජීවිතේ අලුත් තොරතුරු මොනවද?

“විශේෂ දෙයක් නෑ. මගේ දුවත් මගේ පවුලේ අයත් එක්ක මාදිවෙල මගේ ගෙදර ඉන්නවා. දුව දැන් කොළඹ විශාඛා විද්‍යාලයේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. එයාගේ වැඩ කටයුතුවලට තමයි මගේ ජීවිතේ වැඩි කාලයක් ගත වෙන්නේ.

ජීවිතේ දිහා ආපස්සට හැරිලා බැලුවොත්!

“යම් යම් කාලවකවානුවලදී ජීවිතේ විවිධ වෙනස්කම් ඇතිවෙනවා. වෙන්න ඕන දේ තමයි ඒ සිද්ධ වෙන්නෙ කියලා මම හිතනවා. හැම දෙයක් දිහාවම උපේක්ෂාවෙන් බලන්න දැන් මට පුළුවන්. ඒ සංයමය මගේ ළමා කාලයෙන් මගේ අධ්‍යාපනයෙන් සහ ක්‍රීඩිකාවක් හැටියට මම ලබපු ශික්ෂණයෙන් ඇතිවුණු දේ වෙන්න ඇති. ජීවිතේ සංවේගජනක අවස්ථා තිබෙනවා.

නමුත් ඒවා මැඩ පවත්වා ගන්න මට ස්වභාව ධර්මයෙන් ශක්තිය දීලා තිබෙනවා. ජීවිතේ කඩාවැටුණු අවස්ථාවල තනියම ඒ හැම දෙයක් ගැන ම මම සුබවාදීව හිතනවා.

0 comments:

Post a Comment