Wednesday, January 13, 2010

Tagged Under:

2008 වසරේ විශිෂ්ටතම නිළිය දුලානි අනුරාධා

By: Last Man On: 2:19 PM
[DulaniAnuradha.jpg] තම ප්‍රථම සිනමා රංගනයෙන්ම ‘සරසවිය’ හොඳම නිළි කිරුළට හිමිකම් කියූ එකම නිළිය සේ මෙතෙක් එම ඉතිහාසයට එක්ව සිටියේ ‘ගැටවරයෝ’ චිත්‍රපටයේ රඟපෑ සෝබනී අමරසිංහ පමණකි.

ඇගේ රංගන විශිෂ්ටත්වය එලෙසින් ශෝභමාන වූයේ අදින් වසර හතළිස් හතකට පෙර 1965 වසරේ පැවැති ‘සරසවිය’ සම්මාන උළෙලේදීය.

ඉකුත් දා පැවැති 32 වැනි ‘සරසවිය’ සම්මාන උළෙලේ දී ඒ ඉතිහාසය අලුතින් ලියන්නට තවත් යොවුන් නිළියක සමත් වූවාය. 2008 වසරේ තිරගත වූ චිත්‍රපට අතරින් ජැක්සන් ඇන්තනි අධ්‍යක්ෂණය කළ ‘අබා’ හි ‘භුම්බකබූතා’ ලෙසින් රඟපෑ දුලානි අනුරාධා එකී දුලබ වාසනාවට හිමිකම් කියූූ දෙවැන්නියයි.

‘අබා’ තිරගත වන්නටත් මත්තෙන් මා එදා ‘සරසවිය’ පුවත්පතට ඈ ගැන සටහනක් තැබුවෙමි. මා දන්නා තරමින් ඒ ඈ පිළිබඳ ලියැවුණ මුල්ම ලිපිය විය යුතුය. එදා අප සංවාදයේ නිමිත්ත වූයේ ‘අබා’ චිත්‍රපටයේ ඇගේ රංගනයයි. නමුදු ඒ මුල්ම රංගනය උදෙසා ඈ මෙලෙස හොඳම නිළිය ලෙසින් සම්මානනීයත්වයට පත්වේ යැයි එදා මට නිකමටවත් සිතුණේ නැත. ඒ නොසිතූ දේ දැන් සිදුව තිබේ.

ජැක්සන් ඇන්තනි නම් වූ විශිෂ්ට සිනමාවේදියා අපේ සිනමාවට සොයා දුන් මේ මහඟු සම්පත පිළිබඳ තවත් බොහෝ සුබවාදී අනාගත වැකි ඉදිරියේදී ලියැවෙනු ඇතැයි මට සිතේ.

එය අනාගතයට බාර කරමින් අපි මෙලෙස වර්තමානයේ සිට ඇගේ් ගමන් මග දෙස විමසිලිමත් වන්නේ ලැබූ විජයග්‍රහණයට ‘සරසවිය’ සුබපැතුම් එක් කරමිනි.

දුලානි ‘භුම්බකබූතා’ ගෙනා වාසනාව ගැන මොකද ඔයාට හිතෙන්නේ?

වචනයෙන් කියන්න බැරි තරම් ලොකු සතුටක් හිතේ තියෙන්නේ. ඒක මෙහෙමයි කියලා විස්කර කරන්න බැහැ. චිත්‍රපටයට සම්බන්ධ වීම හැර මේ වගේ සම්මානයක් ගැන එදා බලාපොරොත්තුවක් තිබුණේ නැහැ.

රඟපෑ ප්‍රථම චිත්‍රපටයෙන්ම හොඳම නිළිය වීමේ මහඟු වරම ඔයාට ලැබුණා. අධ්‍යක්ෂ ජැක්සන් ඇන්තනිගෙන් මොන වගේ සහයක්ද ලැබුණේ මේ චරිතය ගොඩ නගා ගන්න?

ඇත්තෙන්ම ‘අබා’ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය වගේම තිර පිටපතත් ජැක්සන් සර්ගේමයි. ඒකත් මේ චරිතය සාර්ථක කර ගන්න ලොකු පිටුබලයක් වුණා කියලා මට හිතෙනවා. ඔහු ඇත්තටම මට උපදෙස් දුන්නේ දර්ශන තලයේදී පුළුවන් තරම් සැහැල්ලුවෙන්, විනෝදයෙන් ඉන්න කියලයි. ඒ නිසාම මේ චරිතය රඟපාද්දී මගේ හිතට බරක් දැනුණේ නැහැ. ජැක්සන් සර් නැතිනම් මට බැහැ මේ තත්ත්වයට එන්න.

ප්‍රථම චිත්‍රපටයෙන්ම මේ වගේ ප්‍රධාන චරිතයක් රඟපාන්න ලැබීම ගැන දුලානිට මොනවද හිතෙන්නේ. බියක් චකිතයක් හිතට දැනුණේ නැද්ද?

මුලින්ම යම් චකිතයත් හිතේ නොතිබුණා නෙවෙයි. ඒත් ජැක්සන් සර් එක්ක වැඩ කරගෙන යද්දී චකිතය ඉබේම හිතෙන් දුරස් වෙලා ගියා.

ජැක්සන් ඇන්තනි නළුවෙක් නිසා ඔහු වඩාත් හොඳින් දැනගෙන හිටියා ආධුනික කෙනෙක් හසුරු වන්නේ කොහොමද කියන කාරණය. ඇත්තෙන්ම මේ චරිතයට මේ තරම් විශාල ප්‍රේක්ෂක විචාරක ප්‍රතිචාර ලැබුණේ මා චරිතයට ඉටු කළ සාධාරණය වෙනුවෙන්. ඒ පසුපස හිටිය යෝධ සෙවණැල්ල වුණේ ජැක්සන් සර්.

රවීන්ද්‍ර රන්දෙනිය, මාලනී ෆොන්සේකා වැනි ප්‍රවීණතම නළු නිළියන් සමඟ වැඩ කරන්න දුලානිට අවස්ථාව ලැබුණා?

ඔව්, එකත් මගේ් ලොකු වාසනාවක්. මේ චරිතය ගොඩ නගා ගන්න ඒ අයගේ සහයත් මට ලැබුණා. ඒ වගේම අනෙකුත් සෑම නළු, නිළියකුගෙන්ම, කාර්මික ශිල්පියකුගෙන්ම මට ලැබුණේ පුදුමාකාර සහයෝගයක්.

ඇඳුම් නිර්මාණය, වේශ නිරූපණය වගේ දේවල් පවා මේ චරිතයේ සාර්ථකත්වය පිටුපස තිබුණා. මේ සියල්ලන්ගේම සහයෝගය මත මට ජැක්සන් ඇන්තනි කියන අධ්‍යක්ෂවරයාගේ මනසේ ඇඳුණ භුම්බතබූතා තිරයේ ප්‍රති නිර්මාණය කරන්න පුළුවන්කම ලැබුණා.

‘අබා’ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න දුලානිට අවස්ථාව ලැබුණේ කොහොමද කියලත් පොඩ්ඩක් මතක් කරමු?

‘සිරස කුමරිය’ නර්තනය ඉදිරිපත් කරද්දී තමයි ජැක්සන් සර් මුලින්ම මාව දැකලා තියෙන්නේ. ඔහුගේ සිතේ තිබුණ භුම්බකබූතාගේ රූපයට මගේ රූපය සමාන වුණා.

ඊට පස්සේ රංගනය සහ නර්තනය ගැනත් විමසා බැලුවා. මගේ භාව ප්‍රකාශනය හරහා මේ චරිතයට කොතෙක් සාධාරණයක් ඉටු කළ හැකිද කියන කාරණය ගැනයි මම හිතන්නේ ජැක්සන් සර් වඩාත්ම අවධානය යොමු කළේ.

මේ අවස්ථාවේදී ප්‍රවීණ නර්තන ශිල්පී හා ගුරුවරයකු වන චන්දන වික්‍රමසිංහ සර්වත් ගෞරවයෙන් සිහිපත් කරනවා. මට අද වගේ මතකයි, මම බස් එකේ කැම්පස් එකට එන අතරතුරේ ඔහු තමයි කිව්වේ මේ වගේ චරිතයකට මාව තෝරගෙන තියෙනවා කියලා.

මම හිතන්නේ භුම්බකබූතාගේ චරිතයට ඔයා තෝරා ගන්න ප්‍රබලතම හේතුවක් වුණේ දුලානිගේ නර්තන හැකියාව?

ප්‍රධානම කාරණය වුණේ ඒක. නමුත් මගේ රංගන හැකියාව ගැනත් විශේෂ අවධානයක් යොමු වුණා. හැම විටම පූර්ව සූදානමක් තිබුණා මේ කටයුත්තේදී. චන්දන වික්‍රමසිංහයන් අපට නර්තනය ඉගැන්නුවා.

හබරා, භුම්බකබූතා සහ අබා කියලා කණ්ඩායම් තුනකට බෙදලා ඒ ටීම් එකතු වෙලා තමයි අපි නර්තනයන් ඉදිරිපත් කළේ. දර්ශන තලයට යද්දී අපි හොඳින් හඳුනන අය. ඒ පූර්ව සූදානම ලොකු ශක්තියක් වුණා රංගන කාර්යයට. ඉබේම චරිත තුළ ජීවත් වෙන්න අපට හැකියාව ලැබුණේ ඒ නිසයි.

‘අබා’ තිරගත වී වසරක් පමණ ගත වුණාට පසුවයි ඔයා තවත් චිත්‍රපටයකට සම්බන්ධ වෙන්නේ?

මගේ දෙවැනි චිත්‍රපටය තමයි ලලිත් පන්නිපිටියගේ ‘සංගිලි’. සාරංග දිසාසේකරගේ පෙම්වතිය විදිහටයි මම ඒකේ රඟපාන්නේ. මවුපියන් නැති අසරණ ගැහැනු ළමයකුගේ චරිතයක් ඒක.

ජීවිත කාලයේම මහ පොළොවත් එක්ක ඔට්ටු වෙලා කාගෙවත් ආදරයක්, කරුණාවක් නොලබා අවසානයේ වැරදි පැත්තට ඈ යොමු වෙනවා. ඒක තරුණියගේ වරද නෙවෙයි.

මේ වගේ සමාජ අසාධාරණයට ලක් වෙන සැබෑ චරිත අප අතරේ ඉන්නවා. මම ගොඩක් කැමැත්තෙන් මේ චරිතය රඟපෑවේ.

චරිත තෝරා බේරාගෙන රඟපෑමේ ප්‍රතිපත්තියක් ඔයාගේ තියෙනවාද?

මුලින්ම මම කරන දේ ගැන මම තෘප්තිමත් වෙන්න ඕනෑ. ඒ අනුව යම් තෝරා ගැනීමක් කරනවා.

මොනවද ඔයා තෘප්තිමත් වෙන දේවල්?

මම විශේෂයෙන්ම බලන්නේ තිර පිටපත. ඒ අනුව තමයි ගොඩක් වෙලාවට ඒ නිර්මාණයට දායක වෙනවද නැති ද කියලා තීරණය කරන්නේ. ඒක පුද්ගලයාගෙන්, පුද්ගලයාට වෙනස් වෙන දෙයක්. සමාජ මට්ටම් හා අධ්‍යාපන මට්ටම් තුළයි මේ දේවල් සිදු වන්නේ.

හොඳයි, මල් ගස් වටේ දුවන දඟකාර බොළඳ පෙම්වතියගේ චරිතයකට කතා කළොත් කවුරු හරි ඔයා එකඟ වෙනවාද?

හොඳ වාණිජ චිත්‍රපටයක රඟපාන්න මගේ ලොකු ආසාවක්, උනන්දුවක් තියෙනවා. හැබැයි ඒ චරිතයේ අර 70 දසකයේ අපේ නිළි රැජන රඟපෑ පෙම්වතිය වගේ ආකර්ෂණීය බවක් තියෙන්න ඕනෑ. මිනිසුන් ඇඳ බැඳ තබා ගන්න පුළුවන් ඒ වගේ චරිතයකට ආරාධනා ලැබුණොත් බාර ගන්න මම කැමැතියි.

මෙවැනි සම්මානයකට හිමිකම් කීම කෙසේ වෙතත් කවදා හරි නිළියක් වෙනවාය කියන හැඟීම දුලානිගේ හිතේ තිබුණාද?

පොඩි කාලේ මගේ හිතේ සිහිනයක් තිබුණා මගේ නර්තන හැකියාව වැඩි දියුණු කර ගන්න. ඒත් රංගනය ගැන එහෙම විශේෂත්වයක් මගේ හිතේ තිබුණේ නැහැ. විශ්ව විද්‍යාලයේ පළමු වසරේදී මම නාට්‍ය හා රංග කලාව පිළිබඳ සාමාන්‍ය මට්ටමකින් හැදෑරුවා.

ඒ හැර රංගනය ගැන විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් ඒ කාලේ තිබුණේ නැහැ. හැබැයි මට මීට කලින් ටෙලි නාට්‍ය, චිත්‍රපට කිහිපයකට කතා කළා. කුමක්දෝ හේතුවක් නිසා මම එයට කැමැති වුණේ නැහැ. මම ප්‍රේක්ෂකයන් අතරට යන්න හරි වෙලාව එනකල් බලාගෙන හිටියාදෝත් කියලා මට වෙලාවකට හිතෙනවා.

වෘත්තීය නිළියක් හැටියට දිගටම ක්ෂේත්‍රයේ රැඳී ඉන්නවාද?

එහෙම වෘත්තීය නිළියක් වෙනවාය කියන හැඟීම දැනට මගේ හිතේ නැහැ. ඒත් හොඳ නිර්මාණවලට දායක වෙන්න කැමැතියි. මම වඩාත් ඇලුම් කරන්නේ නර්තන ගුරුවරියක් විදිහට මම ඉගෙන ගත් දේ තවත් පරපුරකට බෙදා හදා දෙන්නයි.

හොඳ නිර්මාණවලට දායක වෙන්න කැමැතියි කිව්වා. ඔයා වඩාත් කැමැත්තක් දක්වන චිත්‍රපට අධ්‍යක්ෂවරුන් කවුද?

එහෙම විශේෂයක් නැහැ. මම කැමැතියි මට හරි යන චරිතයක් දීලා මගේ උපරිමය ලබා ගන්න පුළුවන් ඕනෑම අධ්‍යක්ෂවරයකුට.

දුලානිගේ අධ්‍යාපන කටයුතු දැන් ඉවරද?

ඔව්. විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු නම් දැන් ඉවරයි. ප්‍රසාංගික කලාවේදී විශේ්ෂ උපාධිය දෙවැනි පන්තියේ සමාර්ථයක් මට තියෙනවා.

අපි මෙච්චර වෙලා කතා කළේ දුලානි අනුරාධා කියන නිළිය ගැන. කැමැතියි දැනගන්න ඒ පෙම්වතිය ගැනත් තොරතුරු ටිකක්?

මම පෙම්වතියක් නෙවෙයිනේ. ඉතින් මට ප්‍රේමවන්තයෙකුත් නැහැ.

බොරු නේ?

ඇත්තටම එහෙමයි. කලින් එහෙම සම්බන්ධයක් තිබුණා. ඒත් දැන් නැහැ. හැබැයි මට ආදරය කරන ගොඩ දෙනෙක් ඉන්නවා. ඒ නිළියක් විදිහට.

ඒ අතරේවත් විශේෂ කෙනෙක් නැහැ?

නැහැ. එහෙම විශේෂ කෙනෙක් නැහැ.

එතකොට දැන්ම විවාහය සිදු වෙන්නේ නැද්ද?

විවාහ වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒත් ඒ කවදාද කියන එක නම් දැන්මම නිශ්චය විදිහට කියන්න බැහැ.

0 comments:

Post a Comment