Friday, February 12, 2010

Tagged Under:

අම්මා මට මනාලයෙක් හොයනවා

By: Last Man On: 1:19 PM

පබෝධා සංදීපනී

පරම්පරාවෙන්ම කලාවට උරුමකම් කියන්නට සමත් වූ වාසනාවන්තියන් අතර ඇය සැබෑම වාසනාවන්තියක වන්නීය. මවගේ සුරතේ එල්ලී කලාව උරුම කරගත් ඇයට කලා ක්ෂේත්‍රය ආගන්තුක නොවේ.


ඇගේ සුසුමද, කඳුළ ද, ආත්මය ද කලාව හා බද්ධව පවතී. පබෝධා සංදීපනී අද වන විට කලා අඹරේ දිදුළන තාරකාවක්. පබෝධා ‘රසඳුන’ සතුටු සාමීචිය ආලෝකවත් කළ මොහොතයි මේ.

පබෝධා ගැන ආයෙමත් රසික රසිකාවියන් කතාබහ කරන්නට පටන් අරගෙන නේද?

“මේ දිනවල මම රංගනයෙන් දායක වුණු ශි‍්‍රයානි අමරසේන ගේ ‘සිවුපත් රෑන’, ෂර්ලී පී. දෙලංකාවල ගේ ‘දෙගම්මැදියාව‘ ටෙලිනාට්‍ය රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය වෙනවා. මේ හින්දම රසික රසිකාවියන් මගේ රඟපෑම් ගැන කතාබහ කරන බව මා දන්නවා. ඔවුන් ගෙන් ලැබෙන උණුසුම් ප්‍රතිචාර මැද මගේ රංගන කටයුතු සිදුවෙනවා.

ඔබ මේ දිනවල ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රූගත කිරීම් සඳහා ද සහභාගි වනවා ද ?

‘රංගිර’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් සිදුවන්නේ නුවර ප්‍රදේශයේ. එයට සහභාගි වෙනවා. ගැමි තරුණියකගේ චරිතයක් තමයි මම එහිදී රඟ දක්වන්නේ. මේ චරිතයත් මගේ රසික රසිකාවියන් අතර ජනපි‍්‍රය වේවි කියා මම හිතනවා.

ඒ වගේ ම රොහාන් වැලිවිටගේ ‘සුසීමා’ චිත්‍රපටයේ ‘සුසීමා’ ලෙස රංගනයෙන් දායක වුණා. එහි රූගත කිරීම් මේ වන විට බොහෝදුරට නිමයි. තව ගීත කිහිපයකම රූගත කිරීම් මේ දිනවල සිදුවෙනවා.

ඔබේ මවත් දක්ෂ රංගන ශිල්පිනියක්. ඇගෙන් මොන වගේ සහයෝගයක් ද ඔබට ලැබෙන්නේ?

මගේ කලා ජීවිතයේ ජීවය අම්මා. පුංචි කාලෙ ඉඳලම අම්මත් එක්ක ඇගේ රූගත කිරීම් සිදුවන ලොකේෂන් වලට මමත් ගියා. ගෙදර වේවා පිට වේවා අපි සහභාගිවුණු විවිධ උත්සවවලදී නෑදෑයන් හැරුණු කොට මට දකින්නට, අහන්නට, කතාබහ කරන්නට සිදුවුණේ කලා ක්ෂේත්‍රයේ ශිල්පී ශිල්පිනියන් සමඟ. ඔවුන් මගේ නෑදෑයන් තරමටම මට සමීපයි.

අම්මා නිසා කලා ක්ෂේත්‍රයත් මට ගෙදර වගේ ම හුරුපුරුදු තැනක් බවට පත්වුණා. කලා ක්ෂේත්‍රයේ බොහෝ දේ මට ඇගෙන් උරුම වුණා පමණක් නෙවෙයි බොහෝ දේ මා ඇගෙන් උගත්තා.

මම පුංචි කාලෙ ඉඳලම තරමක් කම්මැලි දරුවෙක්. විශේෂයෙන්ම අදටත් මට ලැබෙන ටෙලිනාට්‍ය, චිත්‍රපට, කලා කටයුතුවලට මම සහභාගි වෙන්නෙ අඩුවෙන්. මට ඒ ගැන උනන්දුවක් නැහැ.

නමුත් අම්මා මගේ පිටුපස හෙවණැල්ලක් වගේ ඉඳගෙන මාව කලාවට තල්ලු කිරීමේ වගකීම ඉටු කරනවා. මට බනිමින් මාව දිරිමත් කරන්නේ අම්මා. මම හිතන්නේ කලා ක්ෂේත්‍රයේ රැඳී ඉන්නට, මේතාක් දුරක් එන්නට අම්ම තමයි මාව මෙහෙයවූයේ.

මේ ක්ෂේත්‍රයේ පැතිරෙන කටකතා ඔබ විශ්වාස කරනවා ද?

කටකතා නම් නැත්තේ කොතන ද? ඒවා හැමතැනම තියෙනවා. ගමක් ගත්තත් කාර්යාලයක් ගත්තත් ඒ හැම එකකම හැම තැනම කටකතා කියන දේ පැතිරෙනවා. අද ලංකාවේ කටකතා ඒ තරමටම සාමාන්‍යකරණයට ලක්වෙලා.

එක අතකට ලංකාවේ කටකතා කියන දේ අද සමහරක් ඒ අයගේ ප්‍රසිද්ධියට රුකුලක් කරගන්න අවස්ථාත් තිබෙනවා. මම විශ්වාස කරන්නේ අපි කවුරුත් මැරෙන දවසට අරගෙන යන්නේ අපි කරපු හොඳ නරක විතරයි. මේ හින්ද කටකතා ගැන නම් මම එතරම් තැකීමක් කරන්නෙ නැහැ.

ඔබ පියා බලන්නට ළඟදී ප්‍රංශයට ගියේ නැද්ද?

මේ අවුරුද්දේ නම් තවම යන්න බැරිවුණා. මට යෙදෙන වැඩ කටයුතුත් එක්ක ඒ පිළිබඳව ඉදිරියේදී තීරණය කරනවා.

ඔබ දැන් විවාහ පත් වන වයසේ පසුවන තරුණියක්. නැද්ද තවමත් ආදර කතාවක්?

අප්පේ තවම නම් නැහැ. මට ගැළපෙන පෙම්වතෙක් තවම හමුවුණේ නැහැ. ඒත් අම්මා නම් මේ දවස්වලට මගේ විවාහය ගැන උනන්දුයි. ඇය මට ගැළපෙන සහකරුවෙක් හොයමින් ඉන්නවා. සුදුසු කෙනෙක් ලැබුණොත් විවාහ වෙනවා.

ඉතිං පබෝධා ඔයාට අනාගතේ බලාපොරොත්තු බොහොමයකුත් ඇති නේද?

මහා ලොකු බලාපොරොත්තු නම් නැහැ. ඒත් කලා ක්ෂේත්‍රයේ හොඳින් නිර්මාණ කටයුතු සිදු කරන්න බලාපොරොත්තු වෙනවා.

ඒ වගේ ම මගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සාර්ථකව නිම කරන්නටත් බලාපොරොත්තුවක් තිබෙනවා. විශේෂයෙන්ම මම ප්‍රංශ භාෂාව හදාරමින් සිටිනවා. ඒ වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරන්නටත් බලාපොරොත්තුවක් තිබෙනවා.



0 comments:

Post a Comment