Sunday, February 28, 2010

Tagged Under:

අපි සරළයි විනෝදයට ලැදියි

By: Last Man On: 12:48 AM
පූර්ණිකා - සහන්
දෙරණ රූපවාහිනි නාලිකාව ඔස්‌සේ ගෙන ආ "එක දවසක්‌ උදේ වැඩසටහනෙන් හමුවූ මේ හදවත් දෙක අඹු සැමියන් ලෙස එකතුවී මේ ගෙවී යන්නේ තුන්වන වසරයි. මේ දෙපළගෙන් දෙරණ නාලිකාවේ ආරම්භක සාමාජිකාවක්‌ වන පූර්ණිකා සුභාෂි පීරිස්‌ එහෙමත් නැත්නම් ප්‍රේක්‍ෂක ආදරය දිනාගත් පූර්ණිකාත්, කෞෂික සහන් අබේසේකර ඒ කියන්නේ පූර්ණිකාගේ සැමියා සහනුත් එකතුව දෙරණේ වැඩසටහන් වර්ණවත් කරන අතරේ පසුගිය දිනක මීවිත අපි ඔවුන්ගේ කැදැල්ලට ගොඩවැදුනේ තවත් අලුත් උදෑසනක.

පූර්ණිකා කොහොමඳ ජීවිතේ?

ගොඩක්‌ සතුටින්, විනෝදයෙන් කාලය ගතවෙනවා.

ඔය සතුටට පිවිසුම් මාර්ගය සකස්‌වුණු ආකාරය ගැනත් මතක්‌ කරමු?

2002 වසරෙදි තමයි මුල් වරට නිවේදිකාවක්‌ හැටියට ජාතික රූපවාහිනියේ "සිත්ගත් ගී" වැඩසටහනට මම සම්බන්ධ වෙන්නේ. මේ අවස්‌ථාව ලැබෙන්නේ චරිතා ප්‍රියදර්ශනී අක්‌කා මාර්ගයෙන් රවී අබේවික්‍රම මහතාගේ ඇඳින ගැනීම මත. වසරක්‌ පමණ එහි වැඩකටයුතු කරගෙන යද්දි අඟහරුවාදා නුගසෙවණ වැඩසටහනේ නිවේදන කටයුතු වසර තුනක්‌ විතර කරන්න අවස්‌ථාව ලැබුණා.

දෙරණ සමග ඔබේ සම්බන්ධය ඇතිවෙන්නේ?

2005 වසරේ දෙරණ රූපවාහිනියේ ආරම්භක සාමාජිකයන් අතර කෙනෙක්‌ මම. මුලින්ම ඉදිරිපත් කළේ ගිරිරා- කෞෂල්‍ය අයියත් එක්‌ක "ඇත්තම කියන්න" වැඩසටහන දෙරණට එන්න මූලික වුණා එක කාරණයක්‌ තමයි මේක අලුත්ම නාලිකාවක්‌. අනික ඔවුන් නිවේදක නිවේදිකාවන් බඳව ගන්නේ ස්‌ථීරවමයි. ඒ අවස්‌ථාව තමයි මම පාවිච්චි කරලා ආවේ සහ අනුරුද්ධ ජයසේන අයියගේ දැන හැඳුනුම්කමත් ඊට හේතු වුණ

අද ඒ තෝරා ගැනීම ගැන සතුටුද?

ඇත්තටම ඔව්, දෙරණින් හොඳ අවස්‌ථා රාශියක්‌ මේ කාලය තුළදී මට ලබාදීලා තියෙනවා. ඒ තුළින් ලැබුණු අත්දැකීම් බොහොමයි. ඒ වගේමයි ආයතනයේ ස්‌ථිර සේවකයෙක්‌ හැටියට පැවැත්ම නිශ්චිතයි.

මේ දක්‌වා ඔබ ඉදිරිපත් කළ වැඩසටහන් ගැන මතක්‌ කළොත්?

බොලිවුඩ් ෂෝ, පාරකියන තාරුකා, ලක්‌ස්‌ රුවැති යුවති, ඇතුළුව උදෑසන වැඩසටහන් කිහිපයක්‌ම කරනවා.

මේ වැඩසටහන් අතරෙදි තමයි ඔබට සහන්ව මුණගැසෙන්නේ?

2006 දී තමයි සහනුයි මමයි මුණගැහෙන්නේ. ඒ අවස්‌ථාවත් විශේෂයි. මොකද කියනවනම් අපි දෙන්නා තමයි මුලින්ම දෙරණේ උදෑසන සජීවී වැඩසටහන් ඉදිරිපත් කළේ. ඊට පස්‌සේ 2007 අවුරුද්දේ දෙසැම්බර් මාසේ අපි දෙන්නා විවාහ වුණා.

පුර්ණිකා ඔබ සහන් තුළින් දැකපු විශේෂත්වය මොකක්‌ද?

පුද්ගලයෙක්‌ හැටියට ගත්තොත් ගතිගුණ වලින් හරිම හොඳයි. ඒ වගේමයි සැමියෙක්‌ හැටියට සහන් මාව හොඳට තේරුම් අරගෙන තියෙන්නේ. අපි දෙන්නම එකම වෘත්තියක නියෑළිලා ඉන්න නිසා ඒ අවබෝධයත් ඔහුට තියෙනවා. ඒ නිසා නීති රීති දාලා මාව හිරකළේ නැහැ. බොහොම සරලයි. විනෝදයට ටිකක්‌ ලැදියි.

රඟපාන්න ලැබෙන අවස්‌ථා මගහරින්නේ ඇයි?

රංගනයට නම් ආරාධනා ගොඩක්‌ ලැබුණා. ඒක ටෙලිනාට්‍ය චිත්‍රපට කියලා වෙනසක්‌ නැහැ. ඒත් මට හිතෙනවා රඟපානවා කියන්නේ ටිකක්‌ අමාරු විෂයක්‌. ගොඩක්‌ කැපවෙන්න ඕන. අනික නිවේදනයයි, රංගනයයි දෙකම එකට පැටලැවෙයි කියලත් මට බයක්‌ තියෙනවා. එහෙම වුණොත් ඒක මම නිවේදන වෘත්තියට කරන අසාධාරණයක්‌ වෙනවා. නමුත් හොඳ නිර්මාණයක මට කළ හැකි දෙයක්‌ තියෙන චරිතයක්‌ ලැබුණෙත් රඟපාන්නත් ආසාවක්‌ නැතුවම නෙමෙයි.

ඒ කියන්නේ අනාගතයේදී නිළියක්‌ වෙන්නත් බලාපොරොත්තුවක්‌ තියෙනවා?

බොහෝ දුරට මොකද පසුගිය කාලේ සම්බන්ධ වුණු දැන්වීම් කිහිපයට අදටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. අක්‌කත් මේ දවස්‌වල කතා කරලා තියෙනවා එයා නිෂ්පාදනය කරන ටෙලිනාට්‍යයක පුංචි චරිතයක්‌ රඟපාන්න. ඒකට කැමැති වුණා. ඒත් එහෙමයි කියලා පූර්ණකාලීනව නම් රඟපාන්න අදහසක්‌ නැහැ.

ඔය අදහසට සහන් එකඟදද?

එයා නම් කැමැතියි රංගනයට මම යොමුවෙනවනම් සමහර නිර්මාණවලට කතාකළහම සහන් තමයි මටත් කලින් ඒකට සම්බන්ධ වෙන්න කියලා කැමැත්ත දෙන්නේ. ඒ අතින් මගේ හැකියාවන් එළිදක්‌වන්න හොඳ සහයෝගයක්‌ ලබාදෙනවා.

එතකොට නිවසේ වැඩකටයුතුවලදී ලැබෙන සහයෝගය?

බොහෝ වෙලාවල අපි දෙන්නටම විවේකයක්‌ ලැබෙන්නේ එකට. එවැනි අවස්‌ථාවලදී අපි දෙන්නගෙම සහයෝගයෙන් ගෙදර දොර පිරිසිදු කිරීම් කටයුතු කරනවා.

සහන් ඔබ නිවේදකයෙක්‌ වෙන්න හිතපු කෙනෙක්‌ නෙමෙයි?

පාසල් මට්‌ටමින් නම් කථික අංශයෙන් විවිධ තරගවලට සහභාගිවෙලා තියෙනවා. උසස්‌ පෙළ විද්‍යා විෂයන් තෝරගත්තට පස්‌සේ බාහිර වැඩකටයුතු එතනින් නැවතුණා. පාසල් අධ්‍යාපනයෙන් පස්‌සේ චීන කටු චිකිත්සාව පිළිබඳ ඩිප්ලෝමාවක්‌ කළා. ඊටත් පස්‌සේ තමයි දෙරණ රූපවාහිනියේ අලෙවි අංශයේ සේවය කරන ලක්‌මාල් මුදලිගේ මාර්ගයෙන් අයෑදුම්පතක්‌ යොමු කරලා ස්‌ක්‍රීන් ටෙස්‌ට්‌ එකකට පෙනී ඉඳලා නිවේදකයෙක්‌ හැටියට අද මේ ජනප්‍රියත්වය ලබන්න අවස්‌ථාව ලැබුණේ.

වෛද්‍යවරයෙක්‌ වෙන්න තිබුණ අවස්‌ථාව නේද අද මගහැරගෙන තියෙන්නේ?

ඒක එක අතකින් අපරාධයක්‌ කියලත් හිතෙනවා. අවුරුදු ගාණක්‌ කැපවීම් කරලා ඉගෙන ගත්ත දෙයින් ප්‍රයෝජනයක්‌ නොගෙන ඊට හාත්පසින්ම වෙනස්‌ දෙයක තමයි අද මම ජීවත් වෙන්නේ. කොහොම වුණත් ඩිප්ලෝමාවෙන් පස්‌සේ අවුරුද්දක්‌ විතර චීන කටු චිකිත්සකවරයෙක්‌ හැටියට රෝගීන් සුවපත් කරලා ලැබුවා හා සමාන තෘප්තියක්‌ අද ලැබෙන ජනප්‍රියත්වයෙන් මම විඳිනවා. ඒ වගේමයි භාෂාව හසුරුවන ආකාරය ගැන හොඳ අවබෝධයක්‌ මේ හරහා ලැබුණා.

මේ ජීවිතේ ඔබ දෙදෙනාගේ සැලසුම්?

මහා පරිමාණ සැලසුම් නැති වුණත් කාලයක්‌ මම දෙරණෙම සහය නිෂ්පාදකවරයෙක්‌ හැටියට කටයුතු කළා. ඉදිරියේදී තව අත්දැකීම් ප්‍රමාණයක්‌ එකතුකරගෙන ඒ අංශයට යොමු වෙන්න බලාපොරොත්තුවක්‌ තියෙනවා. ඒ වගේම මගේ පවුලේ අම්මයි, තාත්තයි, නංගියි එක්‌ක අපි දෙන්නා සතුටින් ඉන්නවා.

0 comments:

Post a Comment