Sunday, February 21, 2010

Tagged Under:

Himali Siriwardena

By: Last Man On: 2:05 PM

මම තවමත් සෑහීමට පත්වෙන්නේ නෑ

February 21, 2010

මම තවමත් සෑහීමට පත්වෙන්නේ නෑ

("Sensation")නර්තන කණ්ඩායම හරහා කලා ලොවට පිවිසි ඇය මේ වනවිට නර්තනය මෙන්ම රංගනය හරහා ද සිය කලා ‍කෞෂල්‍යයන් ප්‍රේක්ෂකයාට තිළිණ කර ඇත."සඳගලතැන්න"ටෙලි නාට්‍යයේ"සඳා"‍ලෙස පුංචි තිරයේ ආදරණීය චරිතයක් මැවූ ඇය මේ දිනවල ‍‍‍ටෙලි නාට්‍ය කිහිපයකින්ම රූපවාහිනියෙන් ඔබ හමුවට පැමිණෙයි.. ඇය හිමාලි සිරිවර්ධනයි)..



1. මේ දවස් වල අලුත් වැඩකටයුතු මොනවද?

මම රංගනයෙන් දායකවුණු"අයාල්"සහ"ඇහිපිල්ලමක් යට"ටෙලි නාට්‍ය දෙක මේ දින වල රූපවාහිනියේ විකාශය වෙනවා. ඒ වගේම අලුත්ම ටෙලි නාට්‍ය දෙකක රූගත කිරීම්වලත් යෙදිල ඉන්නෙ. පුරුදු විදිහට සංගීත සංදර්ශන වලටත් සහභාගි වෙනවා මගේ නර්තන කණ්ඩායමත් එක්ක. මේ අවුරුද්දෙ අප්‍රේල් වල ඩුබායි වල සංදර්ශනයකට සහභාගිවෙන්නත් බලා‍පොරොත්තු වෙනවා."School of Dancing"කියල මම අලුත්ම නර්තන පාසලක් ආරම්භ කළා. ඒකෙ ඉගැන්වීමේ කටයුතු වල නිරතවෙනවා. ඒවා තමයි අලුත්ම තොරතුරු.

2. විවාහයට ඉක්මන් වුණා වැඩියි කියල හිතෙන්නෙ නැද්ද?

නොහිතෙන වෙලාවල් නැතුවම නෙමේ. ඒත් එහෙම හිතෙන්නෙ හුඟාක් කාර්යබහුල වුණාමයි. කලා කටයුතු නිසා කාර්යබහුල වෙද්දි, ඒ නිසාම නිවසේ වැඩ කටයුතු අතපසු වෙද්දි, මගෙන් ඉටුවිය යුතු යුතුකම් මඟ ඇරෙද්දි නම් හිතෙනවා විවාහයට ඉක්මන් වුණා වැඩියි කියලා. සමහර අවස්ථාවලදී කලා කටයුතු නිසා නිවසේ රැ‍ඳෙන්නවත් වෙලාවක් නෑ. ඒ වගේ වෙලාවට නිවසයි කලාවයි දෙකම සමබරව පවත්වාගෙන යන්න අපහසුයි. තනිකඩව හිටියනම් මීට වඩා නිදහසේ මගේ වැඩ කටයුතු කරගෙන යන්න තිබුණා කියල හිතෙන වෙලාවල් තියෙනවා.

3. විවාහ ජීවිතයද තනිකඩ ජීවිතයද වඩාත් සුන්දර?

මම හිතන්නේ මම විතරක් නෙමේ. ඕනම කෙනෙක් පිළිගනීවි විවාහ ජීවිතයට වඩා තනිකඩ ජීවිතය සුන්දරයි කියලා. මොකද තනිකඩව ඉඳිද්දි බැඳීම් හුඟක් අඩුයි. වගකීම් අඩුයි. නමුත් විවාහ ජීවිතයෙත් සුන්දරත්වයක් තියෙනවා. විවාහයට කලින් මම සම්පූර්ණයෙන්ම නිදහස් ජීවිතයක් ගතකළා කියල කියන්නෙ නෑ. මම හැම සංදර්ශනයකටම සහභාගි වුණේ කවුරුම හරි වැඩිහිටියෙක් එක්කයි. විවාහ වුණාට පස්සේ මගේ සැමියා මාත් එක්ක එනවා. අපි ආදරය කරන කාලේ අපට නිදහසේ කතා කරන්නවත් බොහෝ වෙලාවට අවස්ථාව ලැබුණේ නෑ. දැන් එහෙම නෑ. එහෙම බලද්දි විවාහය සුන්දරයි කියල හිතෙනවා. නමුත් ඇත්තටම මම හිතන්නෙ තනිකඩ ජීවිතය වඩාත් සුන්දරයි.

4. ඔබේ ආදර කථාව ගැන මතකය අවදිකළොත්.?

මගේ සැමියා ෂෙනාස් පෙරේරා. ඔහු සේවය කරන්නෙ ABC Network ආයතනයේ. ෂෙනාස්ව මට මුණගැහුණේ සංදර්ශනයකට සහභාගිවුණු අවස්ථාවකයි. ඔහු මධුමාධව අරවින්දගෙ යාළුවෙක්. ඊට පෙරත් ෂෙනාස් මං ගැන උනන්දුවකින් ඉඳල තියෙනවා. නමුත් මධු අයියා මාර්ගයෙනුයි අපි දෙන්නා හඳුනගත්තෙ. ඒ විදිහට හඳුනගෙන කාලෙකට පස්සෙ අපි පෙම්වතුන් වුණා. විවාහ වුණේ වසර 4ක ආදර සම්බන්ධයකින් පසුවයි. දැන් අපි විවාහ වෙලා වසර 3ක්.

5. කලාව ක්ෂේත්‍රය තුළ ඔබ අරමුණු කරගත් තැනට ළඟාවෙන්න පුළුවන් වුණා කියල හිතනවද?

රංගන ක්ෂේත්‍රයට පිවිසීම ගැන මට ලොකු වුවමනාවක් තිබුණේ නෑ. මගෙ අරමුණ වුණේ නර්තනය තුළින් දුර ගමනක් යන්නයි. නමුත් ඒ ක්ෂේත්‍ර දෙකෙන්ම මේ දක්වා පැමිණි ගමන ගැන මම සෑහීමකට පත්වෙන්නෙ නෑ. හැමදාම හිතනවා මීට වඩා දෙයක් කරන්න තිබුණා කියල. අලුත් නිර්මාණයකට දායක වන හැම අවස්ථාවකම අලුත් දෙයක් ඉගෙනගන්න ලැබෙනවා. ඉගෙනගන්න තියෙන දේවල් අඩුවෙන්නෙ නෑ. ඒ නිසා මේ දක්වා පැමිණි ගමන ගැන මම තවමත් සෑහීමට පත්වෙන්නෙ නෑ.

6. කලා ජීවිතයේ වඩාත්ම සතුටට පත් වූ අවස්ථාව?

"සඳගලතැන්න"ටෙලි නාට්‍ය මගේ කලා ජීවිතයේ මාව ඉහළම තැනකට ගෙනියපු ටෙලි නාට්‍යයක්. මට ප්‍රේක්ෂකයින් අතරට යාමට අවස්ථාව ලැබුනෙත් එම නාට්‍යය නිසයි. එහි රංගනය වෙනුවෙන් මම සම්මාන 3ක් ලබාගත්තා. 2007 රයිගම් සම්මාන උළෙලේ කුසලතා සම්මානයක් සහ 2007 සුමති සම්මාන උළෙලේ නැඟී එන නිළිය සම්මානය ලැබුණා. 2008 රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේ හොඳම නිළිය සඳහා මගේ නම නිර්දේශ වුණා. එම සම්මාන උළෙලේ ඇඟයීම් සම්මානයක් මට ලැබුණා. ඇත්තටම ඒ අවස්ථාව මම ලබපු විශාල ජයග්‍රහණයක් වගේම මම විශාලම සතුටක් ලබපු අවස්ථාවක්. මම රංගන ක්ෂේත්‍රයට ආව මුල්ම දවස් වල සිත් රිදවීම් වලට මුහුණ දෙන්න සිද්ධවුණා. එකපාරක් දින පවා නියම කරගත්ත ටෙලි නාට්‍යකින් මාව ඉවත්කරල තිබුණා. තාමත් ඒකට හේතුව මම දන්නෙ නෑ. ඒත් පසුව ආරංචි වුණා මම රඟපාන්න දන්නැති නිසා කියලා. ඉතිං ඒ වගේ තත්ත්වයකදී එකම ටෙලි නාට්‍යයකට සම්මාන 3ක් ලැබීම මම ලබපු ‍සුවිශාලම ජයග්‍රහණයක්.

7. ජීවිතයේ විශාල කනගාටුවකට පත්වුණු අවස්ථා නැද්ද?

විශේෂම අවස්ථාවක් නම් නෑ. නමුත් මෑතකදී සිදුවූ සිදුවීමක් මතකයි. අපේ ගෙදර සොරකමක් සිදුවුණා. ඒ සිදුවීමෙන් මම අවුරුදු ගණනාවක් දුක් මහන්සි වී උපයාගත් මුදලින් මිලදී ගත් රත්තරන් ආභරණ සියල්ලම වගේ මට නැතිවුණා. මගේ හිතට ලොකුම කනගාටුවක් ගෙනාපු අවස්ථාවක් ඒක. නමුත් මම සාමාන්‍යයෙන් ඕනම වැඩක් කරද්දි ඒ දෙය උපරිමයෙන් රස විඳිනවා. ඉතිං මම කනගාටුවට පත්වෙන අවස්ථා හුඟක් අඩුයි.

8. ඔබේ විවාහය සිදුවුණේ ප්‍රථම ප්‍රේමයේ ප්‍රතිඵලයක් විදිහටද?

නැහැ. පාසල් යන කාලේ ප්‍රේම සම්බන්ධතා කිහිපයක් තිබුණා. නමුත් ඒවා බොහෝ දුර දිග ගිය සම්බන්ධතා නෙමේ. ඒ සඳහා අපේ නිවසින් අවසරයක් තිබුණේ නෑ. අඩුතරමේ මේ දක්වා තනියම කිසිම ගමනක් ගිහින් නැති තරම්.

9. ඔබ දායක වූ ටෙලි නාට්‍ය කිහිපයක් සඳහාම ප්‍රදීප් ධර්මදාසත් සම්බන්ධ වුණා. රංගනයෙන් හෝ අධ්‍යක්ෂණයෙන්. එහි විශේෂත්වයක් තියෙනවාද?

ඇත්තටම නැහැ. ඒක අහම්බයෙන් සිදුවූ දෙයක්. අපි දෙන්නා මුලින්ම හමුවුණේ"සඳගලතැන්න"ටෙලි නාට්‍යයෙන්. ඊට පස්සේ අපි දෙන්නා හුඟක් හොඳ මිතුරන් වුණා. ප්‍රදීප් ඔහුගේ"ඇහි පිල්ලමක් යට"ටෙලි නාට්‍යයට මා තෝරාගත්තේ"සඳගලතැන්න"නාට්‍යයේදී මගේ රංගන හැකියාව හඳුනාගත් නිසයි."අයාල්"ටෙලි නාට්‍යයට මම සම්බන්ධවුණෙත් ප්‍රදීප් හරහායි. නමුත් ඒ ඔහුගේ හැඳිනීම නිසාම නෙමේ. එම චරිතය සඳහා මම සුදුසුයි කියලා අධ්‍යක්ෂවරයා තීරණය කළ නිසයි. ටෙලි නාට්‍ය වලදී ප්‍රදීප් සහ මම වඩාත් ගැළපෙන යුවලක් විදිහට සැලකෙන නිසයි ඒ චරිත සඳහා අප දෙදෙනා තෝරාගන්නේ.

10. එළිමහන් සංදර්ශනවල නර්තනයෙන් දායකවන නර්තන ශිල්පින්ට විවිධ චෝදනා එල්ලවෙනවා නේද?

ඇත්තටම ඒ දේවල් ඒතරම් සැලකිල්ලට ගතයුතු දේවල් ලෙස මම සලකන්නේ නෑ. බොහෝවිට චෝදනා එල්ලවෙන්නේ අපි නර්තනයේදී අඳින ඇඳුම් නිසයි. ශරීරය නිරාවරණය වෙනවා කියලා. නමුත් එය සාධාරණයි කියන්න බෑ. ඒ දේවල් මම යොදාගන්නෙ නර්තනය අනුවයි. වේග රිද්ම නර්තනයකදී වඩාත් පහසු ඇඳුම් මම තෝරාගන්නවා. මගේ නර්තන කණ්ඩායමට හොඳ වගේම නරක ප්‍රතිචාරත් ලැබෙනවා. නමුත් ඇත්තටම අදටත් හුඟදෙනෙක් මාව අඳුනන්නේ "Sensation" කණ්ඩායමේ "හිමාලි සිරිවර්ධන" කියලයි. ඒ වගේම මම බොහොම තදින් මගේ කණ්ඩායමේ විනය ගැන සැලකිලිමත් වෙනවා. එය කඩකළොත් මම වහාම ඇයව ඉවත් කරනවා. මම දැනටත් ඒ වගේ පියවර අරන් තියෙනවා. සංදර්ශනයකට සහභාගිවෙද්දි මම අනිවාර්යයෙන්ම මගේ කණ්ඩායමේ ළමයින්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙනවා. මම සංවිධායකවරුන්වත් ඒ ගැන දැනුවත් කරනවා. එහෙම නැත්නම් අපි නර්තනයේ යෙදෙන්නේ නෑ. අද දක්වාම මගෙ කණ්ඩායමට හැසිරීම සම්බන්ධයෙන් වැරදි චෝදනා ඉදිරිපත් වෙලා නෑ.

11. නවකයින්ට උදව් කරන්න කැමතිද?

රංගනය පැත්තෙන් මට නවක ශිල්පීන්ට හෝ ශිල්පිණියන්ට ලොකු උදව්වක් කරන්න බෑ. මමත් තවම නවක රංගන ශිල්පිණියක්. නමුත් නර්තනය පැත්තෙන් මම උපරිම විදිහට උපකාර ලබාදෙනවා. මගේ නර්තන කණ්ඩායම තුළින් මම බොහෝ තරුණියන්ට ඉදිරියට ඒමට අවස්ථාව ලබාදෙනවා.

http://www.fmderana.lk/sinhala/Openion_images/2030940067hio2-LL.JPG
http://www.fmderana.lk/sinhala/Openion_images/1435632978hi-03-LL.JPG
http://www.fmderana.lk/sinhala/Openion_images/1541961455hi-05LL.JPG

0 comments:

Post a Comment