Wednesday, February 3, 2010

Tagged Under:

Roshini Madam Devoice?

By: Last Man On: 11:11 AM
සුදු හංසි හරහා රිදී තිරයට කතා නායිකාවක වූ සේමිණී ඉද්දමල්ගොඩ කියයි

තමන්ට ලැබෙන ඕනෑම චරිතයක් වෙනුවෙන් උපරිමයෙන් කැප වෙන්නත්, ඒ කැපවීම තුළින් අදාළ චරිතයට මනා සාධාරණයක් ඉටු කරන්නත් ඈ දක්වන්නේ සැබෑම උනන්දුවක්. තරුවක පමණක් නොවී ප්‍රේක්ෂකයන් වෙත වඩාත් නිර්මාණශීලී රංගනයන් ඉදිරිපත් කරන්නට ඈ දැක්වූ උනන්දුව නිසාම ඈ මේ වන විට දක්ෂ චරිතාංග නිළියක ලෙසත් අපේ සිත් පුරා සෙනහසින් ලැඟුම් අරගෙන.

සේමිණී ඉද්දමල්ගොඩ

යළිත් ඈ පිළිබඳ, මේ දිනවල ප්‍රේක්ෂකයන්ගේ සුවිශේෂ අවධානයක් යොමු වෙලා. ඒ “සුදු හංසි” චිත්‍රපටයේ ඈ රඟන අපූර්ව චරිතය නිසාවෙන්. අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද සතුටෙන් කල් ගෙවන සේමිණී ඒ සතුට, සොම්නස අප හා බෙදා හදා ගන්නට අපත් සමග එක් වුණේ මේ විදිහට.......

“සුදු හංසි” මගේ සිනමා ජීවිතයේ මුල්වරට මම ප්‍රධාන චරිතයක් රඟපෑ චිත්‍රපටය. ඒ ගැන හිතේ තියෙන්නේ ලොකු සතුටක්. ගාමිණී වාසලසූරියගේ නව කතාවක් ඇසුරෙන් තමයි මේ චිත්‍රපටයේ තිර පිටපත ලියැවී තිබෙන්නේ. “සුදු හංසි” ප්‍රධාන චරිතයට මට ආරාධනා කළේ අධ්‍යක්ෂ සෆ්රාස් සහ ප්‍රධාන චරිතය රඟන අර්ජුන් කමලනාත්.

“සුදු හංසි” නව කතාව ඔයා කියවලා තියෙනවා ද.....?

ඇත්තෙන්ම මම නව කතාව කියවලා තිබුණේ නැහැ. මම චරිතය ලැබුණාට පස්සේ ඒක කියෙව්වෙත් නැහැ. තිර පිටපතේ තිබුණ විදිහටයි චරිතය රඟපෑවේ. කොහොම වුණත් මේ මම හරිම ආසාවෙන් රඟ පෑ චරිතයක්. සිනමාවේ මගේ හොඳම චරිතයත් මේක කියලා මම විශ්වාස කරනවා.

සේමිණි රඟපාන්නේ චරිත තෝරා බේරා ගෙනද.....?

මගේ සීමාවන් ඇතුලේ කරන්න පුළුවන් ඕනෑම චරිතයක් මම බාර ගන්නවා.

මොනවද ඔය සීමාවන් කිව්වේ.....?

මම දියණියකගේ මවක්. ඒ නිසා චරිතයක් බාර ගැනීමේ දී මම ඒ ගැන දෙපාරක් හිතනවා. මම විසින්ම පනවා ගත් නීතිරීතිවලට එකඟව තමයි ඒ දේවල් කරන්නේ. අනෙක රඟපෑම කියන්නේ මට නම් මුදල්ම නෙවෙයි. යම් භූමිකාවකට සාධාරණයක් කරන්න පුළුවන් කියලා හැඟුණොත් විතරයි මම චරිතයක් බාර ගන්නේ. මගේ සැමියාවත් කිසි දවසක මට එහෙම වාරණයක් පනවලා නැහැ. එයා මට මේ කාර්යයේදී සම්පූර්ණ නිදහස දීලයි තියෙන්නේ. මම දන්නවා මම කරන්නේ මොනවාද කියලා. එහෙම අවබෝධයක් නැති අය අතරේ ප්‍රශ්න, ගැටලු ඇති වෙනවා ඇති. හැබැයි මට එහෙම නැහැ.

එතකොට පහුගිය දවස්වල පැතිරිලා තිබුණේ කට කතාවක්?

ඒ මොකක්ද?

ඔයයි, ධම්මිකයි නීතියෙන් වෙන් වෙන්න යනවා කියලා?

මම දන්න තරමින් නම් එහෙම දෙයක් නැහැ. මගේ මහත්තයා දන්න තරමිනුත් එහෙම දෙයකුත් නැහැ. එහෙම ප්‍රශ්නයක් තිබුණා නම් මම පැකිලෙන්නෙත් නැහැ ඒක එළිපිට කියන්න.

අපේ කතාව වෙන පැත්තකට ගියා. ඒක නෙවෙයි කොහොමද ‘සුදු හංසි’ට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර එහෙම?

හුඟාක් හොඳයි. ඇත්තෙන්ම සතුටුයි. ‘සුදු හංසි’ චිත්‍රපටය සාර්ථක වෙනවා නම් ඒක තමයි මේ දවස්වල මගේ හිතේ තියෙන ලොකුම ආසාව. මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් මම ඉල්ලා සිටිනවා ‘සුදු හංසි’ නරඹලා මට ඒ ගැන අදහස් දක්වන්න කියලා. ඒක මට ලොකු දෙයක්.

වෙන චිත්‍රපටවලට ආරාධනා ලැබුණේ නැද්ද?

කතා කරපු චිත්‍රපට තුනක් තියෙනවා. මේ අවුරුද්ද මගේ් සිනමා දිවිය පැත්තෙන් ඉතා හොඳ වේවි. තවමත් සාකච්ඡා මට්ටමේ අපි ඉන්නේ. කොහොම වුණත් මම ඒවාට දායක වුණොත් මගේ රංගන දිවියේ සුවිශේෂී කඩඉමක් වේවි එය.

දැන් කොහොමද ‘ස්වයංජාත’ රූගත කිරීම් ඉවරද?

මේ දවස්වල හික්කඩුව ප්‍රදේශයේ රූගත කිරීම් සිදු කෙරෙනවා. මම රඟපාන්නේ පබිලිනා ගේ චරිතය. මේ චරිතය රඟපාන්න ලැබීම මගේ ලොකු භාග්‍යයක්. මුලින්ම ‘පබිලිනා’ ගේ චරිතය රඟපාන්න හිටියේ කාංචනා මෙන්ඩිස්. ඒත් එයාට බබා හම්බ වෙන්න තිබුණ නිසා ඒ චරිතයට මට කතා කළා. ඒක මගේ ලක් එක. කාංචනා කළා නම් මේ චරිතය ඒක එයාගෙත් ලක් එක. පබිලිනා ගේ චරිතය ‘කළුවර ගෙදර’ ටෙලි නාට්‍යයේ මම රඟපෑ පොඩි හාමිගේ චරිතය වගේ ප්‍රබල භූමිකාවක්.

‘ස්වයංජාත’ සම්මානනීය නවකතාවක් වගේම අතිශය ජනප්‍රිය නවකතාවක්. ‘පබිලිනා’ එහි කේන්ද්‍රී‍්‍රය චරිතයක්. ඒ නව කතාවෙන් ඔයාට පබිලිනා ගේ චරිතය ගොඩ නගා ගන්න පිටුබලයක් ලැබුණාද?

මම මේ නවකතාව කියවලා නැහැ. තිර පිටපත කියෙව්වට පස්සේ මට හිතුණා නවකතාව කියවන්න අවශ්‍යය නැහැ කියලා. එතකොට ඒ දෙක පැටලෙනවා. මොකද නව කතාවේ යම් යම් දේවල් වෙනස් කරලයි තිර පිටපත සකස් කරලා තිබෙන්නේ කියා අධ්‍යක්ෂ සුදත් රෝහණ මට පැවසුවා.

‘කළුවර ගෙදර’ වගේම ‘ස්වයංජාත’ අපේ රටේ විශිෂ්ටතම නවකතා දෙකක්. ඒ ඇසුරෙන් තැනුණ ටෙලි නාට්‍ය දෙකක රඟපාන්න ලැබීම ගැන ඔයාට මොකද හිතෙන්නේ?

ගොඩක් සතුටුයි. ඒත් මම ‘කරුවල ගෙදර’ නවල් එකත් බලලා නැහැ. කොහොම වුණත් මේ නවකතා දෙකම ලොකු පාඨක ප්‍රසාදයක් ලබා ගත් ජනප්‍රිය නවකතා බව මම දන්නවා.

නවකතා පොත් කියවලා තිබුණා නම් පොඩි හාමිනේගේත්, පබිලිනාගේත් චරිත වඩාත් හොඳින් නිරූපණය කළ හැකිව තිබුණා කියලා හිතෙන්නේ නැතිද?

ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නෑ කියලා කතාවක් තියෙනවානේ. මම අර මුලින් කිව්වා වගේ අයියේ, මුල් කෘතිය කියවලා තිබුණා නම් චරිතය රඟපාද්දී මට අසීරුවක් වෙන්න ඉඩ තිබුණා. මොකද රංගන ශිල්පියාට වඩා වැදගත් තිර පිටපත. රංගනයට අදාළ දේවල් තිර පිටපතෙන් ලබා ගන්න පුළුවන්. මට හිතෙන්නේ එහෙමයි.

සේමිණී වඩා කැමැති සිනමාවට ද නැතිනම් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ද?

ටෙලි නාට්‍යවලට වඩා සිනමාවට මම ආසයි. එක දිගට චිත්‍රපටවල රඟපාන්න මට අවශ්‍ය නැහැ. අවුරුද්දකට චිත්‍රපට තුනක විතර රඟපෑවොත් මට ඇති.

එහෙම නොලැබුණොත් මට අනිවාර්යයෙන්ම ටෙලි නාට්‍යවල රඟපාන්න වෙනවා. ඒ මොකද මම වෘත්තීය නිළියක් නිසා. ඒත් ලැබෙන ලැබෙන හැම දේම බදාගන්න මම සූදානම් නැහැ.

ඉදිරියේදී තිරගත වෙන්න නියමිත චිත්‍රපට මොනවාද?

සුනිල් ටී. ප්‍රනාන්දු නිෂ්පාදනය කළ ‘දකින දකින මල්’ චිත්‍රපටයේ මම රඟපානවා. ළඟදීම එය තිරගත වේවි.

ඔයා නිෂ්පාදනය කළ ටෙලි නාට්‍යයට මොකද වුණේ?

ඒ ටෙලි නාට්‍යය මම නිෂ්පාදනය කළේ අවුරුදු දෙකකට විතර කලින්. එයාර් ටයිම් එකත් දුන්නා. ඒත් තාම ඒක පෙන්නගන්න මට බැරි වුණා. ඒ වියදම් කරපු ලක්ෂ හතළිස් අට මගේ පෞද්ගලික මුදල්. ඒවාට මේ වෙනතුරුම ප්‍රතිලාභයක් ලැබිලා නැහැ. මට පස්සේ ටෙලි නාට්‍යය නිෂ්පාදනය කරපු අයත් අනියම් ක්‍රමවලින් ඒවා විකාශය කරගෙන තිබෙනවා.

කලා කටයුතු අතරේ ගෙදර දොරේ වැඩ කටයුතු අතපසු වෙන්නේ නැහැ . . .?

කොයි තරම් කාර්යබහුල වුණත් ඒවා ගැන මම හොයලා බලනවා. මගේ සැමියාටයි, දියණිය කුමලිටයි හැම යුතුකමක්ම මම ඉටු කරන්න පැකිලෙන්නේ නැහැ.

අපි බොහොම සතුටෙන් ආදර්ශමත් පවුල් ජීවිතයක් ගත කරනවා.කුමලි ඉගෙන ගන්නේ බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසලේ තුන්වැනි ශ්‍රේණියේ. එයා ඉගෙන ගන්නත් දක්ෂයි. මට අවශ්‍ය එයා ලොකු කෙනෙක් කරන්න නෙවේ, හොඳ කෙනෙක් කරන්නයි.

0 comments:

Post a Comment